කඳවුරුගත ළමයින්ට කොරෝනා නාට්‍ය පෙන්වයි



යුද්ධයෙන් අවතැන්ව සිරියාවේ කඳවුරක රැඳී සිටින කුඩා දරුවන්ට කොරෝනා වයිරසයෙන් බේරී සිටීම ගැනත් එහි ඇති භයංකර තත්ත්වය ගැනත් දැනුම්වත් කිරීමට භාවිතා කළ නැටුම් සංදර්ශන සාර්ථක වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.  

සිරියාවේ වයඹ දිග මරත් මස්රින් හි අවැන් කඳවුරකට ගිය ස්වේච්ඡා සේවකයෝ එහි සිටින දරුවන්ට කොරෝනා රෝගය ගැනත් එය පැතිරෙන ආකාරය ගැනත් කියාදීමට මෙලෙස නාට්‍ය රඟ දැක්වූහ.

වයිරසයේ අනුරූ භාවිතා කරමින් නාට්‍ය සංදර්ශන පැවැත්වූ අතර කඳවුරේ බිත්ති මත රූප සිතුවම් කිරීමතුළින් සමාජ දුරස්ථ බව, අත් සේදීමේ වැදගත්කම ඇතුළු වසංගතයෙන් වැළකී සිටීමේ ක්‍රමෝපායයන් පිළිබඳ දැනුම්වත් කිරීමත් සිදුකර ඇත. එමෙන්ම දරුවන්ට සබන්, තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී ඇත.

ස්වේච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වන සමීර් ගොහාරි පවසන්නේ ''අපි කඳවුරේ කූඩාරම්වල සිතුවම් ඇන්දා. ඒ වගේම ගෝලීය ව්‍යසනය පිළිබඳ දැනුම්වත් කරන නාට්‍ය සංදර්ශන පැවැත්වූවා. රෝගය පැතිරීමේ දැඩි අවධානයකට ලක්ව සිටින දරුවන් මේ ව්‍යසනය ගැන දැනුම්වත් කිරීමට අපි උපරිම උත්සාහය ගත්තා." යනුවෙනි.

කඳවුරේ සිටින රාගද් නම් දරුවෙක් මෙසේ කීවේය.

''ඔවුන් අප සමඟ කොරෝනා වයිරසය ගැන කතා කළා. අපට තුවා, සබන් ලබා දුන්නා. මේ ‍වයිරසය අපට ආසාදනය වෙන්න පුළුවන් විදිය ගැන කියා දුන්නා. මේ වයිරසයෙන් මිනිසුන් මිය යන හැටි කිව්වා. අපි දැන් වයිරසය ගැනත් එයින් බේරී ඉන්නා ආකාරය ගැනත් දන්නවා."

සිරියාවේ ජනාධිපපති බෂාර් අල් අසාද් බලයෙන් පහකිරීමට උත්සාහ කරන සටන්කරුවන් විසින් තවමත් අල්ලාගෙන සිටින අවසන් කොටස වන්නේ වයඹ දිග සිරියාවයි. එහි ලක්ෂ 30කට අධික ජනතාවක් වාසය කරන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මීට වසර නමයකට පෙර ආරම්භ වූ යුද්ධය හේතුවෙන් සිරියාවේ වෙනත් ප්‍රදේශවලට පළාගොස් සිටිති.

පසුගිය දිනවල සිරියානු වැසියන් දහස් ගණනක් තුර්කි දේශසීමාව අසළ කඳවුරුවලින් පිටව යාමට පටන්ගෙන ඇත.

කෙසේ වෙතත් සිරියානු සෞඛ්‍ය අංශ පවසන්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් කිසිවෙකුත් වාර්තා වී නොමැති බවයි. එසේ වුවද ඕනෑම මොහොතක එම වසංගතය දරුණු ලෙස පැතිරී ගොස් ඇතැයි වාර්තා වීමට ඉඩ තිබේ. මෙම ප්‍රදේශවල වයිරසය පැතිරගියහොත් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වීමට ඉඩ ඇති බව ද සෞඛ්‍ය සේවයෝ බිය පළ කරති.


RECOMMEND POSTS