කන්න නැතිව මැරිලා



යුද ගැටුම් හේතුවෙන්, පසුගිය තෙවසරක කාලය පුරාවට යේමන දරුවන් 85,000 ක් මන්දපෝෂණයෙන් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව අනාවරණය කළේ යේමන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමිණි. මියගොස් ඇත්තේ අවුරුදු 5 ට අඩු දරුවන්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම විශේෂ වාර්තාව සකසා ඇත්තේ, ‘සේව් ද චිල්ඞ්රන්’ සංවිධානයෙන් ලබා ගත් දත්ත පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.

ඊට අමතරව, මිලියන 14 කට වැඩි යේමන වැසියන් පිරිසක් ආහාර නොමැතිව පීඩාවට පත් ව සිටින බව ද පැවැසෙයි. ඔවුන්ට කඩිනමින් මානුෂීය ආධාර අවශ්‍ය බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව දරුණුතම මානුෂීය ඛේදවාචකය ලෙස ද යේමන අර්බුදය හඳුන්වා දී තිබේ.

2015 වසරේ අප්‍රේල් සිට 2018 වසරේ ඔක්තෝබර් තෙක් කාලයේ වයස අවුරුදු පහට අඩු 84,701 දෙනකු මියගොස් ඇති බව ‘සේව් ද චිල්ඞ්රන්’ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධානී ටැමර් කිරොලෝව් පවසා ඇත.

‘මේක මහා මානුෂීය ඛේදවාචකයක්. අප සැමට ලොකු කම්පනයක්. කුඩා දරුවන් 85,000 ක් කන්න නැතිව මියගොස් තිබෙන බවට තොරතුරු අපට ලැබී තිබෙනවා. මේ දරුවන් ඔවුන්ගේ මාපියන්ගේ තුරුලේ කෑම නැතිව මියගොස් තිබෙනවා’ යැයි ටැමර් කිරොලෝව් පෙන්වා දී තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS