කටාර් විදේශ ඇමැති ජගත් මහලේකම් හමුවෙයි



කටාර් නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම විදේශ කටයුතු ඇමැතිවරයා ද වන ෂෙයික් මොහ්මද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් හමුවිය.

ජාත්‍යන්තරයට බලපාන ආකාරයේ කලාපීය කටයුතු සිදුවන්නේ කෙසේදැයි සම්බන්ධයෙන් කටාර් විදේශ ඇමැතිවරයා අතරේත් ජගත් මහ ලේකම්වරයා අතරේත් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ගල්ෆ් කලාපීය රටවල් කටාරයට පනවා ඇති සම්බාධක අසාධාරණ බවත් නීත්‍යාණුකූල නොවන බවත් කටාර් විදේශ ඇමැතිවරයා මෙම අවස්ථාවේදී ජගත් මහ ලේකම්වරයාට පෙන්වා දුන්නේය.

එම සම්බාධක මුල්කොට ගනිමින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ද කටාර් විදේශ ඇමැතිවරයා ජගත් මහලේකම් හමුවේ අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කටාරය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ෂෙයිකා අලීයා අහ්මද් බින් සයිෆි අල් තානි ද එක් වී සිටි බව ‘ද පෙනින්සියුලා’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇමෙරිකාවේ සංචාරයක නියැළෙන කටාර් විදේශ ඇමැතිවරයා සහ ජගත් මහ ලේකම්වරයා අතර හමුව පැවැත්වූයේ නිව්යොක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.

කටාර් විදේශ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිනිය නිකී හේලි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නිත්‍ය නියෝජිත වසීලි නෙබෙන්ස්යා, චීනයේ නිත්‍ය නියෝජිත මා ෂාසූ පමණක් නොව, ප්‍රංශයේ නිත්‍ය නියෝජිත ෆ්‍රන්සුවා ඩෙලරේ සහ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජොනතන් ඇලන් ද හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

(ද පෙන්නිසියුලා)

 


RECOMMEND POSTS