කටාර් විදෙස් ඇමැති සිරියාව ගැන කතා කරයි



යුද අපරාධ සිදු කළ කිසිදු පාර්ශ්වයක්, සිරියාවේ බලයට පත්වී සිටීම, මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවන්නේ නැතැයි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට එක් වෙමින් අදහස් දැක් වූ කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී කියා සිටියේය.

කටාර් විදෙස් ඇමැතිවරයා මේ බව පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

සිරියානු අර්බුදය නිර්මාණය වී සය වසරක් ගත වී ඇති නමුත් යුද අපරාධ සිදු කළ පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිමගින් ක්‍රියා කිරීමට සිරියානු නීති පද්ධතිය ශක්තිමත් නොමැති බව ද කටාර් විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

සිරියානු අර්බුදයේ දී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ බවටත්, යුද අපරාධ කළ බවටත් සිරියානු රජයටත් ප්‍රතිවාදී සන්නද්ධ කල්ලිවලටත් වෙන් වෙන්ව චෝදනා එල්ල වී ඇත.

සිරියානු අර්බුදය විසඳා සිරියාවට සාමය උදා කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ නම්, සිරියාව පාලනය කළ යුත්තේ එසේ අපරාධ චෝදනාවලට ලක් වූ පාර්ශ්වයක් නොවන බව ද කටාර් විදෙස් ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පැහැදිලි කළේය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS