කටාර් විදෙස් ඇමැති ඇෆ්ගනිස්තානයේ සංචාරයක



කටාර් රාජ්‍යය නියෝජය කරමින්, එරට විදේශ අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට පැමිණියේය.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු සහ තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා නව රජයක් පිහිටුවීමෙන් පසු එරටට පැමිණි පළමු විදෙස් රාජ්‍ය තන්ත්‍රිකයා ලෙස කටාර් විදේශ ඇමැති සැලකෙයි.

කාබුල් බලා පැමිණි කටාර් විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ තලේබාන්වරුන් පිහිටුවූ නව අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය මුල්ලා මොහොමද් හසාන් අකුන්ද් විසිනි. ඉන්පසු කටාර් විදේශ අමාත්‍යවරයාත් ඇෆ්ගන් නව අග්‍රාමාත්‍යවරයාත් අතරේ සාකච්ඡා පැවැත්විණි.

එම සාකච්ඡාවලින් අනතුරුව, කටාර් විදේශ අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී සහ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන හමීඩ් කර්සායි අතරේ සාකච්ඡාවක් ද පැවැත්විණි. හමීඩ් කර්සායි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමඟත් තලේබාන් සංවිධානය සමඟත් යහපත් සබඳතා පවත්වා ගෙන යන අයෙකි.

ඊට අමතරව, කටාර් විදේශ අමාත්‍යවරයා සහ අබ්දුල්ලා අබ්දුල්ලා අතරේ ද හමුවක් පැවැත්විණි. අබ්දුල්ලා අබ්දුල්ලා යනු බටහිර අනුග්‍රහයෙන් පැවැති ඇෆ්ගන් රජයේ ජාතික සංහිදියාව පිළිබඳ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තැනැත්තාය.

ඇෆ්ගන් තලේබාන්වරුන් අතරේත්, එරට සෙසු ජන වර්ග අතරේත් ජාතික සංහිදියාවක් ඇති කිරීම වැදගත් බව කටාර් විදේශ අමාත්‍යවරයාට අබ්දුල්ලා අබ්දුල්ලා පෙන්වා දුන්නේය.

කටාර් රාජ්‍යය සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතරේ යහපත් සබඳතා පවතී. කටාර් රාජ්‍යය ඇමෙරිකාව සමඟත් සමීප සබඳතා පවත්වයි. ඇමෙරිකාව සහ තලේබාන්වරුන් අතරේ සාම වැඩපිළිවෙළක් සකස් කිරීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. එම සාම වැඩපිළිවෙළ සඳහා සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ දෝහා හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. මෙම සාම කාර්යාලය පිහිටුවා ඇත්තේ කටාර් රජයේ අනුග්‍රහය යටතේය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී, ඇෆ්ගනිස්තානයේ සිටින විදේශිකයන් සහ තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් සිවිල් වැසියන් එරටින් ඉවත් වීමට තලේබාන් සමඟ සාකච්ඡා කර ඉඩ සලසා දුන්නේ ද කටාර් රාජ්‍යයයි.

මේ වනවිට තලේබාන් නව රජය යටතේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේ කටයුතු යළි ආරම්භ වී තිබේ. කාබුල් ගුවන්තොටුපොළේ කටයුතු යළි ක්‍රියාත්මක වන්නේ ද කටාර් තාක්ෂණික සහ ඉන්ජිනේරුවන් කණ්ඩායමක් මැදිහත් වෙමිනි. ඇෆ්ගන් තලේබාන්වරුන් පිහිටුවූ අන්තර්වාර රජය, ශක්තිමත් සහ ස්ථාවර රජයක් බවට පත් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව කටාර් රාජ්‍යය පවසා ඇත. ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව කටාර් රාජ්‍යයට ස්තුති කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS