කටාර් එමීර්ගෙන් උණුසුම් පිළිගැනීමක්



මැදපෙරදිග කලාපයේ සිදුකරන සිය පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර් රාජ්‍යයේ පාලකයා වන එමීර් තමීන් බින් අහමඞ් අල් තානි අතර හමුව අද (26) පෙරවරුවේ සිදු විය.

කටාර් එමීර් ඩිවාන් මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා කටාර් එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර ද පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය. නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මැද පෙරදිග කලාපයේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍ය වෙත පැමිණිම පිළිබඳ සිය විශේෂ ස්තූතිය ජනාධිපතිතුමා වෙත පිරිනැමූ තමීන් බින් අහමඞ් අල් තානි එමීර්වරයා දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාගේ මෙම සංචාරය ඉතා සුවිශේෂී වනු ඇති බව ද කියා සිටියේය.

මේ වන විට ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමට හිමිකම් කියන රට බවට කටාර් රාජ්‍යය පත්ව ඇත. ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර සියලු ක්ෂේත්‍රයන්හි සබඳතා පු`ථල් කරගනිමින් දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීම පිළිබඳව  ජනාධිපතිතුමා කළ ඉල්ලීමට මෙහිදී කටාර් එමීර්වරයාගේ විශේෂ අවධානය යොමුවිය.

එමෙන්ම කටාර් රාජ්‍යය වෙත ටොන් 01 කට වැඩි බරකින් යුත් භාණ්ඩ අපනයනය කිරීමේදී අය කෙරෙන සහතික කිරීමේ ගාස්තුව සඳහා සහනයක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ එමීර්වරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට සිය එකඟතාවය පළ කළේය.

ශ්‍රී ලංකාවේ වරාය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහය ලබාදීමට ද කටාර් එමීර්වරයාගේ එකඟතාවය පළකෙරිණි.

එමෙන්ම කටාර් සංවර්ධන අරමුදල හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ද කැමැත්ත පළ කෙරිණි.

ස්වභාවික බලශක්ති සහ ගෑස් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදි ජනාධිපතිතුමා කරුණු පැහැදිළි කළ අතර ස්වභාවික වායු බලශක්ති බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමට ද කටාර් එමීර්වරයා එකඟතාවය පළ කරනු ලැබීය.

ශ්‍රී ලාංකිකයින් 150,000 කට වැඩි පිරිසක් මේ වන විට කටාර්හි විවිධ ක්ෂේත්‍රවල වෘත්තීන්හි නිරතවන අතර ඇතැම් පිරිස් ඔවුන්ගේ දරුවන් සමග ද එහි වාසය කරති. එම ශ්‍රී ලාංකික දරුවන් සඳහා ලංකාවේ විෂය නිර්දේශය ක්‍රියාත්මකවන පාසලක් කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද එමීර්වරයාගෙන් අවධානය යොමු වූ අතර ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි කටයුතු සොයා බලන ලෙස අදාළ අමාත්‍යවරුන්වන්ට සහ නිලදාරින්ට උපදෙස් දෙනු ලැබීය.

සියලු ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාවය කුමන ආකාරයෙන් ඉදිරියට ගෙන යා හැකිදැයි සොයා බැලීමට දෙරටේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර එම කටයුතු ඉදිරියට ක්‍රියාවට නැංවීමට ද මෙහිදී නායකයින් එකඟ වූහ.

මේ අතර ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ද මින් අනතුරුව අත්සන් තැබිණි.

දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට පළමුව අත්සන් තැබුණි.

ජනාධිපති මාධ්‍ය අංශය
2017-10-26


RECOMMEND POSTS