කටාර් එමීර් රුසියාවේ



කටාර් එමීර් ෂෙයින් තමීම් බින් හමාද් අල් තානී කෙටි සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවරට පැමිණ සිටී.

කලාපීය අර්බුද ගැන පමණක් නොව, සිරියානු සහ යේමන අර්බුදය සම්බන්ධයෙන් ද කටාර් එමීර්වරයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීය.

පුටින් සිවුවැනිවරට ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා සුබ පැතුවේය. සිරියාවේත් යේමනයේත් පවතින අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගැනීම කළ යුතු යැයි කටාර් එමීර්වරයා ගෙනා යෝජනාවට රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රසංශාව හිමිවුණැයි ද වාර්තා වේ.

සිරියානු අර්බුදයේ දී, රුසියාව සහාය පළ කරන්නේ සිරියානු රජයට වුවත්, කටාර් රාජ්‍යය සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වයි. සිරියානු ජනාධිපතිවරයා බලයෙන් නෙරපා දැමීමට අවි ගත් සන්නද්ධ කල්ලි එක් වී සිටින්නේ මෙම විපක්ෂ දේශපාලන පක්ෂ සමඟය.

සිරියානු අර්බුදයේ දී දේශපාලනික විසඳුමක් සෙවිය යුතු බවත්, යුද්ධයෙන් පසු විනාශ වී ඇති සිරියාව යළි ගොඩනැගීමෙහිලා විශාල කාර්යභාරයක් කළ යුතු බවත් කටාර් එමීර්වරයා රුසියානු ජනාධිපති පෙන්වා දුන්නේ යැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS