කටාර් එමීර් ජාතිය අමතයි



හටගෙන ඇති අර්බුදයට විසඳුම් සෙවීමට අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ජාතිය අමතමින් කියා සිටියේය.

කටාර් අර්බුදය ආරම්භ වීමෙන් පසු, කටාර් එමීර්වරයා ජාතිය අමතමින් එම අර්බුදය සම්බන්ධයෙන් යමක් පැවැසූ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අසල්වැසියන් සමඟ සාකච්ඡා කර අර්බුදය විසඳා ගැනීමට සූදානම් වුවත්, කටාරයේ ස්වෛරීත්වයට තර්ජනයක් වන කොන්දේසිවලට එකඟ නොවන බව එමීර්වරයා තරයේ කියා සිටියේය.

මේ වනවිට කටාර්යේ අසල්වැසියා වන සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාරය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා ඇත. ගුවනින් සහ මුහුදින් කටාරයට සම්බාධක පැනැවීම ද සිදු කර ඇත.

තමන් අසල්වැසි රාජ්‍යයන් සමඟ සාකච්ඡා පවත්වන්නේ ඔවුන් විසින් පනවනු ලැබ ඇති සම්බාධක ලිහිල් කර ගැනීමේ අරමුණ ඇතිව යැයි කටාර් එමීර්වරයා ජාතිය අමතමින් වැඩි දුරටත් කියා සිටියේය. එමීර්වරයා ජාතිය ඇමැතුවේ කටාර් ජාතික රූපවාහිනිය ඔස්සේය.

‘අප අසල්වැසියන් ද්වේශසහගතව උත්සහ ගන්නවා අප හුදෙකලා කරන්න. ඔවුන් සැවොම අපට එරෙහිව සංවිධානය වෙලා සැලැසුම්සහගතව අප අමාරුවේ දමන්න උත්සාහ ගන්නවා. අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නැයි බලකරනවා. එසේ වුවත්, ඔබ සැම හොඳින් දන්නවා අපේ එදිනෙදා ජීවිතයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඔවුන්ගේ සම්බාධක අපට බාධකයක් වුණේ නැහැ’ යැයි එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කටාර් වැසියන් අමතමින් කියා සිටියේය.
‘විවෘතව සාකච්ඡා කරන්න මම සූදානම්. කොන්දේසි කිසිවක් නැහැ. කෙසේ නමුත් සෙසු රටවල් අපේ ස්වෛරීත්වයට ගරු කළ යුතු වෙනවා. එය ඉල්ලීමක් පමණයි’ යැයි ද කටාර් එමීර්වරයා පැහැදිලි කළේය.

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවූයේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහ අන්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමිනි. මෙම ගල්ෆ් රටවල් කටාරයට මෙසේ චෝදනා කරන්නේ කටාරයේ විදෙස් ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.

(රොයිටර්)

 


RECOMMEND POSTS