කටාරයට ප්‍රහාරක ජෙට් යානා 24 ක්



කටාර් ආරක්ෂක ඇමැති කලීඞ් බින් හමාද් අල් අතියා සහ එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් මයිකල් ෆැලොන් අතර හමුවක් දෝහාහිදී පැවැත්වුණු අතර එහිදී එක්සත් රාජධානියෙන් ‘තයිපූන්’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 24 ක් මිලදී ගැනීමට අත්සන් තැබුණි.

දෙදෙනා අතර හමුව පැවැත්වූයේ දෝහාහි ආරක්ෂක අමත්‍යාංශයේදීය. එක්සත් රාජධානිය සහ කටාර් රාජ්‍යය අතර ආරක්ෂක සහයෝගීතාවක් පවතී.

එම සහයෝගීතාව තව තවත් ශක්තිමත් කර ගැනීමට මෙම ප්‍රහාරක යානා ගනුදෙනුව සමත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගනුදෙනුවට අත්සන් තැබීමෙන් පසු කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කටාර් ආරක්ෂක ඇමැති කලීඞ් බින් හමාද් අල් අතියා සහ එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් මයිකල් ෆැලොන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් ගල්ෆ් කලාපයේ නිර්මාණය වී ඇති අර්බුදය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. සාමකාමී අයුරින් අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන්නැයි බි්‍රතාන්‍ය රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් මයිකල් ෆැලොන් ඉල්ලීමක් ද කළේය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS