කටාරයට කොන්දේසි 13 ක්



පවතින අර්බුදය අවසන් කරමින්, පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට නම් තමන් ඉදිරිපත් කරන කොන්දේසි 13 කට කටාර් රාජ්‍යය එකඟත්වය පළ කළ යුතු යැයි ගල්ෆ් කලාපීය රටවල් වන සෞදිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

එම කොන්දේසි අතරින් පළමු තැන ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට ලොව පුරා විකාශන කටයුතු සිදු කරන ජාත්‍යන්තර පුවත් සේවයක් වන අල් ජසීරා තහනම් කිරීමය. ඊට අමතරව, කටාර් රාජ්‍යය ඉරානය සමඟත් තුර්කිය සමඟත් පවත්වන සබඳතා අඩු කළ යුතු යැයි ද සෞදිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බල කර සිටී.

තුර්කි හමුදා කඳවුරක් කටාරයේ පිහිටුවා ඇති අතර, එම කඳවුරට තුර්කිය මේ වනවිට හමුදා බළඇණියක් ද යවා තිබේ. සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් 4 පවසා ඇත්තේ දින 10 ක් ඇතුළත එම හමුදා කඳවුර වසා දැමීමට කටාරය පියවර ගත යුතුයි කියාය.

සෞදිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටාරයට සම්බාධක පනවමින්, කාටාර් සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නවතා දැම්මේ කටාරය ත්‍රස්තවාදයට සහ අන්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමිණි. එම චෝදනා කටාරය තරයේ ප්‍රතික්ෂේප කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS