කටාරය ගැන ආඩම්බරයෙන්



ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව පැනැවූ සම්බාධකවලට කටාර් රාජ්‍යය මුහුණ දෙන ආකාරය ප්‍රසංශනීය යැයි ඇමෙරිකාව කියයි.

ඇමෙරිකා රජය වෙනුවෙන් මේ බව නිවේදනය කළේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවය. සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට සම්බාධක පනවා ඇත්තේ කටාර් රාජ්‍යයේ දෛනික කටයුතු අඩපණ කර දැමීමේ අරමුණ ඇතිවය.

කෙසේ නමුත් ඉරානය, තුර්කිය සහ සෙසු බටහිර රටවල සහා කටාරයට නොඅඩුව ලැබෙයි. එහෙයින්, සම්බාධක පනවා තිබියදී පවා ඊට නොබියව නොසැලී මුහුණ දීමට කටාරයට හැකි වී ඇති බව ඇමෙරිකාව පවසයි. කටාර් රාජ්‍යය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් පැහැදීමකට පත් ව සිටිනවා යැයි ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටී.

කටාර් අර්බුදය මාස තුනකින් සමථයකට පත් කිරීමට තමන් කටයුතු කරනවා යැයි ඇමෙරිකා එක්සත් ජනපදය පවසා ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වයට ගරු කරමින්, කටාර් රාජ්‍යය සහ සෙසු මැදපෙරදිග රටවල් අතර නිර්මාණය වී ඔඩුදුවා ඇති අර්බුදය කඩිනමින් විසඳීමට මැදිහත් වී කටයුතු කරනවා යැයි ඇමෙරිකා එක්සත් ජනපදය වැඩි දුරටත් පවසා ඇත.

පසුගිය ජූනි මාසයේ සිට ආරම්භ වුණු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කටාර් නියෝජ්‍ය අගමැති මෙන්ම කටාර් විදේශ ඇමැතිවරයා ද වන ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී, නියෝජ්‍ය අගමැති මෙන්ම ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය කලීඩ් බින් මොහොමද් අල් අටියා ඉකුත් දා ඇමෙරිකාවේ වොෂින් අගනුවරට ගියහ. එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එහිදී ඔවුහු ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් හමුවී, කටාර් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ. මාස තුනක් ඇතුළත කටාර් අර්බුදයට විසඳුමක් දෙනවා යැයි ඇමෙරිකාව පැවැසුවේ ඒ අවස්ථාවේදීය.
ත්‍රස්තවාදය පිටුදකිමින්, ගල්ෆ් කලාපීය ආරක්ෂාව සහ සාමය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ද කටාරයත් ඇමෙරිකාවත් අතර සාකච්ඡා පැවැත්විණි. හටගත් අර්බුදය විසඳීමෙහිලා තීන්දු තීරණ ගැනීමේදී කටාර් ස්වෛරීත්වය සැමවිටම ආරක්ෂා කර ගත යුතු බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාත් ආරක්ෂක ලේකම්වරයාත් අවධාරණය යොමු කළ බව වාර්තා විය.

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් නිර්මාණය වුණු අර්බුදය මේ වනවිට මානුෂීය අර්බුදයක් තෙක් දුරදිග ගොස් ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් මෙන්ම ගල්ෆ් සහයෝගීතා සමුළුවේ සාමාජික රාජ්‍යයක් ද වන කටාරය සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොදෙන බවට ඇමෙරිකා රජය වෙනුවෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා එම අවස්ථාවේදී සහතිකයක් ද ලබා දුන්නේය.

කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සෞදියේත් සෙසු රටවලත් උදහසට ලක් විය. සෙසු ගල්ෆ් රටවල් මෙන් නොව, කටාර් රාජ්‍යය ඉරානය සමඟත් තුර්කිය සමඟත් යහපත් සබඳතා පවත්වයි. එය ද සෞදියේත්, බහරේනයේත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත්, ඊජිප්තුවේත් උදහසට හේතුවක් වී ඇත.  සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යය ගල්ෆ් කලාපයේ හුදෙකලා කරමින්, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, වෙළෙඳ සම්බාධක පනවා ඇත. මෙය මානුෂීය අර්බුදයත් තෙක් දුරදිග ගොස් ඇත. ඉරානය සහ තුර්කිය කටාර් රාජ්‍යයට අවශ්‍ය ආහාර සැපැයීම සිදු කරයි.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS