කටාරය ආක්‍රමණය කරන්න හදලා



ඇමෙරිකන් කුලී හේවායන්ගේ ද උදවු ඇතිව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එරට හමුදාව යොදවා, කටාර් රාජ්‍ය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වුණැයි කටාර් හිටපු නියෝජ්‍ය අගමැති අබ්දුල්ලා බින් හමාද් අල් අටියා අනාවරණය කරයි.

කටාරයේ නියෝජ්‍ය අගමැති අබ්දුල්ලා බින් හමාද් අල් අටියා මේ බව අනාවරණය කළේ ස්පාඤ්ඤයේ ‘ඒ.බී.සී.’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කටාර් රාජ්‍යය ආක්‍රමණය කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් බලධාරීන් සහාය ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ඇමෙරිකානු ‘බ්ලැක්වෝටර්’ කුළී හේවායන් හවුල් කර ගැනීමෙන් යැයි ද කටාරයේ නියෝජ්‍ය අගමැති වැඩි දුරටත් පවසා ඇත.

මෙම ‘බ්ලැක්වෝටර්’ පෞද්ගලික ආරක්ෂක සේවය අද හැඳින්වෙන්නේ ‘ඇකඬේමී’ යන නමිනි. ඉරාකයේත් අප්‍රිකා රටවල් රැසකත් ආක්‍රමණ කටයුතු සිදු කළේ මෙම ‘බ්ලැක්වෝටර්’ කුළී හේවායින් බව ප්‍රසිද්ධ රහසකි.

හමුදාව මෙහෙයවා කටාරය ආක්‍රමණය කිරීමට එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යය සූදානමින් සිටිය ද ඊට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමි නොවුණු බවත්, එහෙයින්, එම ආක්‍රමණය අසාර්ථක වුණු බවත් අබ්දුල්ලා බින් හමාද් අල් අටියා වැඩි දුරටත් පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS