කටාරය අපකීර්තියට පත් කරන චිත්‍රපටය



කටාර් රාජ්‍යය, ත්‍රස්තවාදයට අනුග්‍රහය සහ උඩගෙඩි දෙන බව පෙන්වමින්, කටාර් රාජ්‍යය අපකීර්තියට පත් වන ආකාරයේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් එළිදක්වා ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනයට මුදල් යොදා ඇත්තේ එමිරේටි චිත්‍රපට සමාගමක් වන අතර, චිත්‍රපටය කටාර් රාජ්‍යය අපකීර්තියට පත් කරන ආකාරයට නිර්මාණය කර ඇත්තේ එම එමිරේටි සමාගමේ අවශ්‍යතාවටය යැයි අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරගෙන තිබේ. අල් ජසීරා යනු කටාරය කේන්ද්‍රකොටගත් ලොව පිළිගත් ප්‍රකට ජාත්‍යන්තර පුවත් සේවයකි.

ආන්දෝලනයට ලක්ව ඇති මෙම චිත්‍රපටය 'මිස්ෆිට්ස්' ය. චිත්‍රපටය, කොවිඩ් 19 නිසා මේ වනවිට තෝරාගත් සිනමාහල්වල පමණක් තිරගත වී ඇති අතර, අන්තර් ජාලයෙන් ද එය නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබේ.

චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සිදුවෙද්දී, එය කටාර් රාජ්‍යයේ කීර්ති නාමයට හානි වන ආකාරයට වෙනස්කම් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 'ෆිල්ම්ගේට්' චිත්‍රපට නිෂ්පාදන සමාගම පියවර ගෙන තිබේ.

චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයකු වන්නේ මෙම 'ෆිල්ම්ගේට්' සමාගමය.

'ෆිල්ම්ගේට්' සමාගම, චිත්‍රපටය නිෂ්පාදනයට දායක වී ඇත්තේ හොලිවුඩයේ 'පැරමවුන්ට්' චිත්‍රාගාරය සහ 'හයිලැන්ඩ් ෆිල්ම්ස්' සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුවය.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය මෙන්ම ප්‍රකට ජේම්ස් බෝන්ඩ් නළුවකු වන පියේර්ස් බ්‍රොන්සනන් විසිනි. චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ නළු ටිම් රූත් ය.

සෙසු ප්‍රධාන චරිත සඳහා චිත්‍රපටයට සම්බන්ධ වී සිටින්නේ ජනප්‍රිය මෙන්ම නවක නළු නිළියන්ය. චිත්‍රපටයේ කතාව වන්නේ 'ජසෙරිස්තාන්' නමැති රටේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක ඇති රත්තරන් කොල්ලයකි.

'ජසෙරිස්තාන්' යන නමින් හැදින්වෙන රට කටාර් රාජ්‍යය යැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා සෙයි. චිත්‍රපටයේ කතාවට අනුව ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානවලට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වන්නේ 'ජසෙරිස්තාන්' රාජ්‍යයයි.

'මිස්ෆිට්ස්' චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවී ඇත්තේ එමිරේට්ස් රාජ්‍යයේය. චිත්‍රපටයේ චරිත කටාර් රාජ්‍යයේ  සිටින බව පෙන්වීමට දසුන් ඇතුළත් කර ඇත්තේ පරිගණක ඇසුරිනි. ඒ අනුව චිත්‍රපටය කටාර් හි රූගත කළේ යැයි පෙනී යයි.

මේ සියල්ල සිදුවී ඇත්තේ චිත්‍රපටයේ මුල් පිටපත ද වෙනස් කරමින් යැයි අල් ජසීරා පුවත් සේවය කළ ගවේෂණයකදී අනාවරණය කරගෙන තිබේ. එය සිදුවී ඇත්තේ චිත්‍රපටය නිෂ්පාදන කටයුත්තේදී ඊට දේශපාලනික වශයෙන් බලපෑම් එල්ල වී ඇති බැවිනි.

චිත්‍රපටයේ කතාවට පාදක වන 'ජසෙරිස්තාන්' නමැති රාජ්‍යය කටාර් රාජ්‍යය යැයි 'නොකියා කීම' 15 වාරයක් සිදුවන බව අල් ජසීරා අනාවරණයෙන් පැහැදිලි වෙයි.

'මිස්ෆිට්ස්' චිත්‍රපටයේ, ප්‍රධාන නිෂ්පාදකවරයකු වනනේ රාමී ජබාර් ය. ඔහු මේ සම්බන්ධයෙන් එමිරේටි චිත්‍රපට නිෂ්පාදන සමගාමට විරෝධය පළ කරමින් නඩු මඟට යොමු වීමට සූදානම් බව ද වාර්තා වේ. ඒ එම සමාගම චිත්‍රපටයේ අන්තර්ගතය වෙනස් කිරීමට බලපෑම් කළ බවට චෝදනා නගමිනි.

චිත්‍රපටයේ එමිරේට්ස් නිෂ්පාදක මන්සූර් අල් දහේරී ය. දහේරී රාමී ජබාර් ට විශාල මුදල් ප්‍රමාණයක් දී ඔහු නිහඩ කර ඇතැයි ද අල් ජසීරා අනාවරණය කරගෙන තිබේ. මන්සූර් අල් දහේරී සහ දහේරී රාමී ජබාර් අතර ඒ සම්බන්ධයෙන් පැවැති දුරකතන සංවාදයේ හඩ පටය ද අල් ජසීරා පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කර අවසන්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS