ඕමානයේ නැවක අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු බේරාගැනේ



ඕමානයේ කසාබ් වරාය ආසන්නයේ  තිබූ වෙළඳ නැවක අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඕමානයේ රාජකීය  ගුවන් හමුදාව විසින් බේරාගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙලෙස බේරා ගැණුනු ලාංකිකයින් තිදෙනා අදාළ නෞකාවේ සේවයේ නියුතු වූවන් වෙති.

ඔවුන් තිදෙනො රැගත් කසාබ් වරායේ නැංගූරම් ලෑමට  යාත්‍රා කරමින් තිබු අතර එම අවස්ථාවේදී පැවති අයහපත් කාලගුණය නිසා නැව අදාළ වරායට දෙසට යාත්‍රා කිරීමට නොහැකි වී ඇත.

පසුව මොවුන් භූමිය හඳුනා ගැනීමේ උපකරණ ( ජී.පී.එස් ) හා අනෙකුත් සන්නිවේදන උපකරණ භාවිතයෙන් කසාබ් වරායේ සිටින ඕමාන බලධාරීන් අමතා තමන් බේරා ගන්නා ලෙසට ඉල්ලීම් කර තිබෙන බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

කසාබ් වරාය ප්‍රදේශයේ  පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ නැව අනතුරට පත්වීමේ අවදානමක් පවතින බවට ලාංකිකයින් ගෙන් යුතු කාර්යය මණ්ඩලය විසින් ඔවුන්ට සහය පළ කරන ලෙස ඕමාන බලධාරීන් ගෙන් ඉල්ලීමක් කර තිබු බවද වාර්තාවේ.


පසුව වහා ක්‍රියාත්මක වූ ඕමාන බලධාරීන් ඔවුන් මුදා ගැනීම සඳහා ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අදාළ නෞකාව රඳවා තිබෙන මුහුදු ප්‍රදේශයට  යවා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු  බේරා ගැනීමට පියවර ගෙන ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

බේරාගනු ලැබු නැවේ ලාංකිකයින් තිදෙනා මේ වන විට ඕමානයේ  කසාබ් ගුවන් හමුදා  කදවුර වෙත රැගෙනවිත්  ඇත.

ලාංකිකයින් තිදෙනාගේ නම් ගම් සහ ඔවුන් රැගත් නෞකාව කුමන ප්‍රදේශයක සිට යාත්‍රා කළේද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරැ ලැබී නැතැයි තානාපිත ආරංචි මාර්ග කියා සිටී.

 

 තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS