ඔටුන්න හිමි කුමරාට විවේචන



සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ප්‍රංශසා මෙන්ම දොස් ද එල්ල වී තිබේ. ඔහු මේ වනවිට සෞදි අරාබිය තුළ ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. තම පළමු විදෙස් සංචාරය ලෙස බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදුණු ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් කුමරු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම හමුවේදී සෞදියේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන ඉරානය සම්බන්ධයෙන් සෞදි සමාජයේ සිදු කිරීමට නියමිත හා කෙරෙමින් තිබෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් 32 හැවිරිදි සෞදියේ ඔටුන්න හිමි කුමරු ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටී. ඊට අමතරව සෞදියේ විදේශ ප්‍රතිපත්තිය සහ යේමනය යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර සාකච්ඡා පවත්වනු ඇත.

තම පළමු නිල ඇමෙරිකා සංචාරයේදී සෞදියේ සල්මාන් කුමරු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවෙමින් සෞදි අරාබිය තුළ ව්‍යාපාර කිරීම ප්‍රවර්ධනය කිරීමට සූදානමින් සිටින බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි. සෞදියේ සල්මාන් රජු මීට නව මාසයකට කලින් මොහොම්මද් බින් සල්මාන් කුමරු සෞදි රජ කිරුළේ මීළඟ උරුමක්කාරයා ලෙස නම් කළේය. අසූ දෙවන වියේ පසුවන සල්මාන් රජු මොහොම්මද් බින් සල්මාන් කුමරුගේ පියාය. සල්මාන් රජු මොහොම්මද් බින් සල්මාන් කුමරු ඔටුන්න හිමි කුමාරයා ලෙසින් පත් කිරීමට අමතරව ඔහුට බලතල රැසක් ද ලබාදුන්නේය.

ඔටුන්න හිමි සල්මාන් කුමරු පසුගිය මාස නවයක කාලය තුළ දී දැඩි සම්ප්‍රදායවාදී සහ ආගමික පසුබිමක් ඇති සෞදි අරාබිය තුළ විප්ලවීය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන ලදි. රිය පැදවීමට සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට නොහැකි වන අයුරින් කාන්තාවන් තිබූ තහනම ඉවත් කළ සල්මාන් කුමරු චිත්‍රපට ගෙන්වීමටත් සිනමා ශාලා ස්ථාපිත කිරීමටත් අවසර දුන්නේය. එමෙන්ම ඔහු දූෂණයට එරෙහිව නව ඒකකයක් ස්ථාපිත කරමින් දූෂිතයන්ට එරෙහිව පියවර ගත්තේය.

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින අතරවාරයේදී සෞදියේ ඔටුන්න හිමි කුමරු ඉරිදා (18) පළමු වරට ඇමෙරිකා රූපවාහිනි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් විය. සී.බී.එස් රූපවාහිනි නාලිකාවේ ‘මිනිත්තු 60’ ක් වැඩසටහනට එක්වෙමින් ඔටුන්න හිමි කුමරු දැක්වූ අදහස්වලින් කිහිපයක් පහත දැක්වේ.

යේමන යුද්ධය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී සෞදි කුමරු ගුවන් ප්‍රහාර සාධාරණීය කරමින් අදහස් දැක්වීය.

“කැරැලිකරුවන් සෞදි අරාබියේ රියාද් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කරනවා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ මෙක්සිකෝ නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර නොදක්වා ඉන්නවද ?” යැයි හෙතෙම පෙරළා විමසීය. යේමන යුද්ධය නිසා මියගිය පිරිස සම්බන්ධ සල්මාන් කුමරු කනගාටුව පළ කළේය.

“මියයන පිරිස සම්බන්ධයෙන් කනගාටුවක් තියෙනවා. එහෙත් එහි වගකීම සතුරන් බාරගත යුතු” යැයි සල්මාන් කුමරු කීය.
“සටන්කාමීන් මේ මානුෂීය අවස්ථාව ඔවුන්ගේ වාසියට යොදාගන්නවා. ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුකම්පාව දිනාගන්න මොවුන් මෙය අවස්ථාවක් කරගෙන. මානුෂීය ආධාර යැවීම නතර කර ඔවුන් සාගතයක් හා මානුෂීය අර්බුදයක් නිර්මාණය කරලා” යැයි සල්මාන් කුමරු කීවේය.

කාන්තාවන් සම්බන්ධයෙන් පනවා තිබූ නීතිරීති සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවල සල්මාන් කුමරු මෙසේ පිළිතුරු දැක්වීය.

“ ස්ත්‍රීන් හා පුරුෂයන් මිශ්‍ර වීම, ඔවුන්ගේ වෙනස හඳුනාගන්න බැරි, වැඩ කරන ස්ථානයේ කාන්තාවන් හා පුරුෂයන් එක්ව වැඩ කිරීම තේරුම් ගැනීමට නොහැකි අන්තවාදීන් සිටිනවා. ඔවුන් කාන්තාවන් හා පිරිමින් එකට වැඩ කිරීම නවත්වන්න කටයුතු කරනවා. අද අපේ ඇතැම් පිරිස් පනවන නීති ඒ වගේම අදහස් මහම්මද්තුමාගේ කාලයට වඩා බොහෝ පරස්පරයි. අපි හැමෝම මිනිස්සු. අපි කා අතරේවත් වෙනසක් නැහැ” යැයි සල්මාන් කුමරු කීය.

ප්‍රතිසංස්කරණ සිදු කරන අතරවාරයේදී සල්මාන් කුමරු ‘ආගමික පොලිසියේ’ බලතල සීමා කිරීමට ද කටයුතු කළේය. මෑතක් වනතුරුම මෙම පොලිසිය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුමින් පැළැඳ නොසිටි කාන්තාවන් අත්අඩංගුවට ගත්තේය.

“ෂරියා නීතියේ කාන්තාවන් මෙන්ම පිරිමින් ද ඇඳුම් ඇඳිය යුතු ආකාරය පැහැදිලිව සඳහන් කර තිබෙනවා. පිරිමින් මෙන් කාන්තාවන් ද වැදගත් හා ගෞරවනීය ආකාරයෙන් ඇඳුම් ඇඳිය යුතුය. කෙසේ නමුත් කළු ඇඳුමකින් සම්පූර්ණයෙන් හිස වසා ගැනීම හෝ සම්පූර්ණ කළු ඇඳුම් ඇඳිය යුතු යැයි එහි සඳහන් වෙන්නේ නැහැ. ගෞරවනීය , වැදගත් හා වීනිත ඇඳුමක් ඇඳීම තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙන්නේ කාන්තාවන්ට” යැයි සල්මාන් කුමරු කීවේය.

වසර 1979 සිට සෞදි අරාබිය දැඩි සම්ප්‍රදායවාදී ඉස්ලාමික පදනමකින් පාලනය වූ බව සෞදි කුමරු මෙම සම්මුඛ සාකච්ඡාවේදී පිළිගත්තේය.
“අපි වින්දිතයෝ. පීඩාවට පත්වුණා. විශේෂයෙන්ම මගේ පරම්පරාව ඉරාන විප්ලවය, මක්කම මහ පල්ලිය ආක්‍රමණය යනාදි සියල්ලේ පීඩිතයෝ. මේ සෞදි අරාබිය නෙමෙයි. මා ඔබේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. ඔවුන්ගේ ජංගම දුරකතන භාවිත කරලා 70 දශකයේ 60 දශකයේ සෞදි අරාබිය ගැන අන්තර්ජාලයෙන් තොරතුරු බලන්න. එම කාලයේ පින්තූර සෞදි අරාබිය ගැන කියයි. ගල්ෆ් කලාපයේ අනෙක් රටවල් වගේම අපි සාමාන්‍ය ජීවිතයක් ගෙන ගියා. කාන්තාවන් රිය පැදවූවා. සෞදි අරාබියේ සිනමා ශාලා තිබුණා. කාන්තාවන් හැම තැනම වැඩ කළා. අපි සාමාන්‍ය විදියට ජීවත් වුණා. වසර 1979 තෙක් අපි සාමාන්‍ය පරිදි ජීවත් වුණා. කලාපයේ අනෙක් රටවල් වගේම අපි සංවර්ධන වුණා” යැයි සෞදි කුමරු කීවේය.

දූෂණයට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞදි කුමරු මෙහිදි අදහස් දැක්වීය.

“අපි සෞදි අරාබියේ කළ දේ ඇත්තටම වැදගත්. එය නෛතිකයි. එය ඇත්ත වශයෙන් කළ යුතුව තිබුණ දෙකක්. නීති විරෝධීව උපයාගත් ඇමෙරිකා ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් අපි නැවත අය කර ගත්තා. අපිට ඕන වුණේ මුදල් ගන්න නෙමෙයි. අපිට ඕන වුණේ දූෂිතයන්ට දඬුවම් දෙන්න. දූෂිතයන් සියලු දෙනා අපි නීතිය ඉදිරියට ගෙනෙනවා. අපි ගන්නා ලද ක්‍රියාමාර්ග සමාජයට හොඳ පණිවුඩයක් දුන්නා”.

තමන්ගේ පෞද්ගලික ධනය සම්බන්ධයෙන් සල්මාන් කුමරු මෙසේ කීය. “මම පොහොසත් මිනිහෙක්. මම දුප්පත් මිනිහෙක් නෙමෙයි. මම ගාන්ධි නෙමෙයි. මම මැන්ඩෙලා නෙමෙයි. හැබැයි මම මගේ පෞද්ගලික ධනයෙන් කොටසක් පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැය කරනවා. මගේ ධනයෙන් සියයට 51ක් ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. ඉතිරි සියයට 49 මගේ වියදමට” යැයි ද සල්මාන් කුමරු කීවේය.

සල්මාන් රජුගේ අභාවයෙන් පසු සෞදි රාජධානියේ කිරුළ හිමිවන්නේ මොහොම්මද් බින් සල්මාන් කුමරුටය. එසේ වුවහොත් මේ තරුණ කුමරු ඉදිරි අඩසියවසකට කාලය හෝ ඊට වැඩි කාලයක් සෞදි රාජධානිය පාලනය කිරීමට අවස්ථාව උදා වනු ඇත.
ඔහු නතර කළ හැක්කේ මොකටදැයි ඇසූ විට “මරණයට පමණයි” යනුවෙන් පිළිතුරු දුන්නේය.

හර්ෂණ තුෂාර සිල්වා
මිඞ්ල් ඊස්ට් අයි ඇසුරිනි


RECOMMEND POSTS