එර්දොවාන් හදිසියේම ටියුනීසියාවට



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, හදිසියේම ටියුනීසියාවට ගොස් ටියුනීසියා ජනාධිපති කායි සායිද් හමුවී, අසල්වැසි ලිබියාව සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

සාකච්ඡාවලින් පසු එර්දොවාන් සහ කායි සායිද් මාධ්‍ය හමුවක් පැවැත්වූහ. ලිබියානු රජය සහ ලිබියානු රජයට එරෙහිව සටන් වදින හමුදා නිලධාරී ජනරාල් කලීෆා හෆ්තාර්ගේ සටන්කාමීන් අතරේ සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධවෙන් තමන් ටියුනීසියා ජනාධිපති සමඟ සාකච්ඡා පැවැත්වූ බව තුර්කි ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනයට එරෙහි ජනතා නැගී සිටීමක් ආරම්භ වූයේ 2011 වසරේදීය. කැරැලිකරුවන්ට ආයුධ දෙමින් ඔවුන් ශක්තිමත් කළේ ඇමෙරිකාව සහ ප්‍රංශය ඇතුළු නේටෝ රටවල්ය. ගඩාෆි මරා දැමීමෙන් පසු, ලිබියාවේ නව රජයක් පිහිටුවීම සිදුවූයේ ද නේටෝවේ සහාය ඇතිවය.
කෙසේ නමුත් 2014 වෙද්දී, ගඩාෆි පාලනයට එරෙහිව අවි අතට ගත් ඇතැම් කැරැලිකරුවෝ අවි බිම දැමීම ප්‍රතික්ෂේප කළහ. අයි.එස්. සංවිධානය සහ අල් කයිඩාව ඔවුන්ගේ පුහුණු කඳවුරු පිහිටුවා ගත්තේ ද ලිබියාවේය.

මේ වනවිට බටහිර අනුග්‍රහයෙන් පිහිටුවූ ලිබියා අගමැති ෆයේස් අල් සරාජ් ප්‍රමුඛ රජයට එරෙහිව ලිබියාවේ කැරැලිකාර ජනරාල් කලීෆා හෆ්තාර්ගේ සටන්කාමීන් සටන් ආරම්භ කර තිබේ. ඇමෙරිකාව, සෞදිය වැනි රටවල් සහාය පළ කරන්නේ හෆ්තාර් සහ ඔහුගේ සටන්කාමීන්ටය. ලිබියානු රජයට සහ ලිබියානු රජයේ හමුදාවට සහාය දක්වන රටක් වන්නේ තුර්කියයි. ලිබියානු රජයට සහාය දක්වමින් තුර්කිය ලිබියාවට හමුදා භටයන් යවා ඇති බව ද පැවැසෙයි.

ටියුනිස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS