එමිරේට්ස් යානයක් පළමු වරට ඊශ්‍රායලයට



ඉතිහාසයේ පළමු වරට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් ‘එතිහාද්’ ගුවන් සේවයේ ගුවන් යානයක් ඊශ්‍රායලයට ගොඩබෑවේය.

අබුඩාබි සිට ටෙල් අවීව් දක්වා ගුවන් යානය පියාසර කළේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත් වී සිටින පලස්තීන මුස්ලිම් වැසියන්ට ආධාර රැගෙනය. ආධාර බෙදා දීම ඊශ්‍රායල රජයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිතය. පලස්තීන ප්‍රදේශවලට ඇතුළු විය හැක්කේ ඊශ්‍රායලය හරහා පමණි.

වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගයක් ටොන් 14 ක් බරැති මෙම ආධාරවලට ඇතුළත් බව එමිරේට්ස් රජය පවසා ඇත. පීපීඊ ආරක්ෂිත ඇඳුම් කට්ටල, මුහුණු ආවරණ, හුස්ම ගැනීම පහසු කරන වෙන්ටිලේටර් 10 ක් මෙම වෛද්‍ය උපකරණ තොගයට අයත් බව පැවැසෙයි.

පලස්තීන පාලන ප්‍රදේශයලින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 391 දෙනකු හමුවී ඇති අතර, 346 දෙනකු සම්පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වේ. මරණ වාර්තා වන්නේ දෙකක් පමණය.

ජෝර්දානය සහ ඊජිප්තුව හැර, සෙසු අරාබි රටවල් යුදෙව් ඊශ්‍රායලය සමඟ නිල වශයෙන් සබඳතා පවත් වන්නේ නැත. කෙසේ නමුත් නිල නොවන මට්ටමින් සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ ද සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

අබුඩාබි (රොයිටර්)


RECOMMEND POSTS