එමිරේට්ස් න්‍යෂ්ටික බලාගාරයට විරෝධයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉදි කෙරමින් පවතින න්‍යෂ්ටික බලශක්ති බලාගාරය කලාපීය ආරක්ෂාවට මෙන්ම අවට පරිසරයට ද තර්ජනයක් යැයි කටාර් රාජ්‍යය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට ලිපියක් යවමින් දන්වා ඇත.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පිහිටා ඇත්තේ වියානා නුවර කේන්ද්‍ර කොට ගනිමිනි. ‘බරාකාහ්’ යන නමින් නම් කළ මෙම න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ කටයුතු සොයා බලා ගල්ෆ් කලාපයේ න්‍යෂ්ටික ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගන්නැයි කටාර් රාජ්‍යය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියෙන් ඉල්ලීමක් ද කර තිබේ.

‘බරාකාහ්’ න්‍යෂ්ටික බලශක්ති බලාගාරය 2020 දී විවෘත කිරීමටත්, එමගින් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමටත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලාපොරොත්තු වෙයි.

කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර ඇයිහොඳයිකම් පළුඳු වී ඇත. ඒ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත්, අන්තවාදයට අනුග්‍රහය දෙන බවටත් සෞදිය චෝදනා කරමින්, කටාරය හුදෙකලා කිරීමට සම්බාධක පැනැවූ අවස්ථාවේදී, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කටාරයට විරෝධය දක්වමින්, සෞදියට සහාය පළ කිරීම නිසාය. 2017 වසරේ සිට තවමත්, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර හිතවත්කම් තවමත් ශක්තිමත් වී නැත.

අබුඩාබිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS