එමිරේට්ස්-ඉරාන විදෙස් ඇමැති කතාබහක්



මැදපෙරදිග කලාපයේ පිහිටි පසමිතුරු රාජ්‍යයන් වන, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානයේ විදේශ ඇමැතිවරුන් අතරේ වීඩියෝ සන්වාදයක් පැවැත්විණි.

එමිරේට්ස් විදේශ ඇමැති ෂෙයික් අබ්දුල්ලා බින් සයේද් අල් නහ්යාන් සහ ඉරාන විදේශ ඇමැති ජවාද් සරීෆ් අතරේ එම වීඩියෝ ඇමතුම පැවැත්වූයේ, ඊද් අල් ආදා උත්සවය වෙනුවෙන් එකිනෙකාට සුබ පතමිනි.

වීඩියෝ හමුවක් පැවැත්වීමට දෙරටේ විදේශ ඇමැතිවරුන් පියවර ගත්තේ මැදපෙරදිග කලාපය මුහුණ දෙන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වංසගත මුල්කොට ගනිමිනි.
මැදපෙරදිග කලාපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉරානයෙනි.

ඉරාන සෞඛ්‍ය අංශ පවසන පරිදි එරට ආසාදිතයන් ගණන 309,437 කි. මරණ 17,190 කි. කෙසේ නමුත් මෙම ගණන තුන් ගුණයකින් වැඩි යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා තිබේ.

වයිරස ව්‍යාප්තිය සාර්ථක ලෙස මර්දනය කළ කටාර් රාජ්‍යයේ ද කොරෝනා ආසාදිතයන් යළි ඉහළ යෑමට පටන් ගෙන තිබේ. කටාරයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 111,107 කි. මරණ වාර්තා වන්නේ 177 ක් ලෙසය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සෑම රටකටම පොදු සතුරකු බවත්, ඊට එරෙහිව මැදපෙරදිග කලාපීය රටවල් එකමුතුව කටයුතු කළ යුතු බවත් එමිරේට්ස් සහ ඉරාන විදේශ ඇමැතිවරුන් අතරේ සාකච්ඡාවට බඳුන් විය. වයිරස වසංගතය හමුවේ කලාපීය වශයෙන් මුහුණ දෙන අභියෝග ජය ගැනීම කෙසේ කළ යුතුදැයි සම්බන්ධයෙන් ද විදේශ ඇමැතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.

ඉරානය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇමෙරිකාවට දක්වන හිතවත්කම් හේතුවෙනි. ඉරානය, ඇමෙරිකානු සම්බාධකවලින් පීඩාවට පත්වුණු රටකි.

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS