එකිනෙකාට බැණ ගනිති



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයටත්, ඉරාන ජනාධිපති හසන් රොව්හානී ඇමෙරිකාවටත් දොස් පැවැරූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්මත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සැසිය මුලින් ඇමතුවේ ඇමෙරිකා ජනාධිපතිවරයාය.

2015 දී ඉරානය සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත්වීම සහ ඉරානයට පැනවූ නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙහිදී පැහැදිලි කළේය.

ඉරානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් බවත්, ඉරානයේ අරමුණ වී ඇත්තේ මැදපෙරදිග කලාපය පමණක් නොව, මුළු ලොවය අස්ථාවර තත්ත්වයකට පත් කිරීම බවට ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කළේය.

අසල්වැසි රටවල අර්බුදවලට මැදිහත් වෙමින්, එම රටවල් එකිනෙකා කෙටවීමට සලස්වා, නව අර්බුද නිර්මාණය කිරීමට ඉරානය කටයුතු කරනවා යැයි ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

2015 වසරේ දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමා පරිපාලනය මැදිහත් වී, ලොවට තර්ජනයක් වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සමඟ පොදු එකඟතාවක් ඇති කර ගත්තේය.

මෙම එකඟතාව ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව එක් වෙමිනි. ඔබාමා පරිපාලනය එම ‘එකඟතාව’ හරහා ඉරානයට ‘බුරුළක්’ දුන් බවත්, ඉරානය එය වාසියට යොදා ගනිමින් දිගු දුර බැලැස්ටික මිසයිල නිර්මාණය කර යුද ශක්තිය වර්ධනය කරගෙන ඇති බවත්, අද වනවිටඉරානය ලොවට විශාල තර්ජනයක් බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේය.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කළ ද සෙසු රටවල් දිගටම ඉරානය සමඟ සිටිමින්, ඇතිකරගත් එකඟතාවයට ගරු කරන බවට ප්‍රතිඥා දී ඇත. ට්‍රම්ප් සිය දේශනයේ දී කියා සිටියේ ඉරානයට සහාය දක්වන කිසිදු රටකට කිසිදු සමාවක් නොදෙන බවය. ඇමෙරිකා ජනාධිපතිවරයා ඔහුට හිමිවුණු කාලයට වඩා මිනිත්තු 34 ක් කතා කළ බව ද විදෙස් පුවත් සේවා වාර්ත කර ඇත.

ඉරාන ජනාධිපති හසන් රොව්හානී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් පසුවය. ඇමෙරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීම, ‘ආර්ථික ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය වී ඇත්තේ ඉරාන රජය පෙරළා දැමීමට බවත් ඉරානය අස්ථාවර කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකාව තමන්ට සම්බාධක පැනැවීමක් කර ඇති බවත් ඉරාන ජනාධිපතිවරයා සමුළුවට රැස්ව සිටි සෙසු ලෝක නායකයන්ට සහ නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.

‘එක පැත්තකින් ට්‍රම්ප් පරිපාලනය උත්සාහ ගන්නවා ඉරාන රජය පෙරළන්න. අනෙක් පැත්තෙන් ඔවුන් උත්සාහ ගන්නවා අලුත් න්‍යෂ්ටික එකඟතාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්න. දිගින් දිගටම සම්බාධක පනවමින්, ඉරාන ආර්ථිකය අඩපණ කරමින් ඇමෙරිකාව සාකච්ඡා කරන්න එන්නැයි යෝජනා කරනවා. ඒක මහ විහිළුවක්.’ යැයි ද ඉරාන ජනාධිපති එසන් රොව්හානී වැඩි දුරටත් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS