උප ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි



මැදපෙරදිග සංචාරයක නියැළීමට සූදානමින් සිටින ඇමෙරිකා උප ජනපති මයික් පෙන්ස් හමුවීම පලස්තීන පාලන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ජෙරුසිලම ඊශ්‍රායල අගනුවර යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගැනීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේදී මින් ඉදිරියට ‘මැදිහත්කරු’ ලෙස ඇමෙරිකාවට සහභාගී විය නොහැකි බවත්, ඇමෙරිකාව මැදිහත්කරුවකු ලෙස තමන් පිළිගන්නේ නැති බවත් පලස්තීන පාලන අධිකාරිය තරයේ පවසා ඇත.

ඇමෙරිකා උප ජනපති මයික් පෙන්ස් තව නොබෝ දිනකින් ඊශ්‍රායලයේත් ඊජිප්තුවේත් සංචාරය නියැළීමට සූදානමින් සිටී. එම සංචාරයේදී ඔහු ඊශ්‍රායප පලස්තීන අර්බුදය හෙවත් මැදපෙරදිග අර්බුද වෙනුවෙන් නව සාම වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

‘මැදපෙරදිග කලාපයේ සාමය ඇති කිරීම වෙනුවෙන් ඒ ගැන කැප වී කටයුතු කළ හැකි නායකයකු ලෙස වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගන්නේ නැහැ. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී මින් ඉදිරියට ඇමෙරිකාව මැදිහත්කරුවකු ලෙස කටයුතු කරනවට අපේ කැමැත්තක් නැහැ’ යැයි පලස්තීන පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසිලම පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කළ අවස්ථාවේදී, එම තීරණයට පක්ෂව ට්‍රම්ප් අසලින් සිටියේ උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඊශ්‍රායල හිතවාදී ඇමෙරිකන් තානාපති ඬේවිඞ් ෆ්‍රයිඞ්මන් යන දෙදෙනාය.
ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජෝන් මැටිස් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ට්‍රම්ප්ගේ තීරණයට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS