උප ජනපති ධුරයට කාන්තාවෝ 3 ක්



නව කැබිනට් මණ්ඩලයට කාන්තා නියෝජනයක් නැතැයි විවේචන එල්ල වීමත් සමඟ උප ජනපති ධුර තුනක් සඳහා කාන්තාවන් පත් කිරීමට ඉරාන ජනාධිපති හසන් රොව්හානි පියවර ගෙන තිබේ.

ඉරාන ජනාධිපති ලෙස හසන් රොව්හානි එම ධුරයට පත් වූයේ මීට මාස කීපයකට පෙර පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමෙනි.

රොව්හානි මධ්‍යස්ථමතධාරියකු හෙයින්, ඔහුගේ කැබිනට් මණ්ඩලයට කාන්තාවන් නොමැතිවීමත් පිරිමි පමණක් සිටීමත් සම්බන්ධයෙන් ඉරාන වැසියන්ගෙන් පමණක් නොව බටහිර රටවලින් ද විවේචන එල්ල විය.

ඉරාන ජනපති එරට උත්තරීතර නායකයාට දෙවැනි වෙයි. ඉරානයේ උත්තරීතර නායකයා වන්නේ අයතුල්ලා අල් කොමේනිය. ඉරාන ජනාධිපතිවරයා යටතේ උප ජනාධිපතිවරු 12 දෙනෙක් වෙති. කාන්තාවන් පත් කර ඇත්තේ එම උප ජනපති ධුර තුනක් සඳහාය.

උප ජනපති ධුර සඳහා පත් කෙරුණේ මසුමේ එබ්ටෙකාර්, ලායා ජොනිඩී සහ ශෂින්ටොක්ත් මොවුලර්වේදීය.
මසුමේ එබ්ටෙකාර් කාන්තා කටයුතු සම්බන්ධයෙන් ද සොයා බැලීම් සිදු කරනු ඇති බවත්, ලායා ජොනිඩී නීතිමය කටයුතු පිළිබඳවත් ශෂින්ටොක්ත් මොවුලර්වේදී සිවිල් අයිතීන් පිළිබඳවත් සොයා බැලීම් කරනු ඇති බවත් වාර්තා වේ.

1979 වසරේ ඉරාන විපල්පයෙන් පසු කැබිනට් මණ්ඩලයට තේරී පත් වුණු එකම කාන්තාව හිටපු සෞඛ්‍ය ඇමැතිනියක ලෙස කටයුතු කළ මර්සේ ඩස්ටිජෙර්ඩිය. මැය 2009 වසරේ සිට 2013 තෙක්, ජනාධිපති මොහොමද් අහමදිනෙජාද් ජනපතිවරයාගේ රජයේ සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස කටයු කළාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS