උතුරුදිග සිරියාවේ නගරයක් අල්ලා ගැනේ



රජයේ හමුදා උතුරු දිග සිරියාවේ මන්බිජ් නගරයේ පාලනය බලය අල්ලා ගත් බව රුසියාව අඟහරුවාදා (15) ප්‍රකාශ කළේය.

තුර්කිය උතුරු දිග සිරියාවේ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමෙන් දින කිහිපයකට පසු එම ප්‍රදේශවලට සිය හමුදා යෙදවීමට සිරියාව පියවර ගෙන ඇත.

උතුරු දිග සිරියාවේ ක-ුර්දි පාලනය යටතේ තිබෙන ප්‍රදේශවලින් සිය හමුදා ඉවත් කරගැනීමට ඇමෙරිකාව තීරණය කිරීමත් සමඟ තුර්කිය එම ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

“මන්බිජ් සහ අනෙකුත් ප්‍රදේශවල සම්පූර්ණ බලය සිරියානු රජයේ හමුදා සතු” යැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සිරියානු කුර්දිවරුන්ගේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මන්බිජ් නගරය සහ ඒ අවට ප්‍රදේශ පාලනය කරනු ලැබූ අතර එම ප්‍රදේශවලට රජයේ හමුදා ඇතුළු වූයේ යැයි සිරියානු රජයේ ‘සානා’ පුවත් සේවය වාර්තා කළේය.

තුර්කිය එල්ල කරන ප්‍රහාරවලින් කුර්දිවරුන්ගේ පාලනයේ තිබෙන උතුරු දිග සිරියාවේ ප්‍රදේශ ආරක්ෂා කරගැනීම සඳහා සිරියානු රජයේ හමුදා අනුයුක්ත කෙරුණි.

රුසියාව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රධාන මිත්‍ර පාර්ශවයක් වේ. වසර අටකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වූයේ 2015 වසරේදීය.
සිරියානු සහ තුර්කි හමුදා සිටින තුර්කි-සිරියානු දේශසීමාවේ අතරේ රුසියානු හමුදා මුර සංචාරවල යෙදෙන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

“තුර්කිය සමඟ සහයෝගීතාව ඇති කරගත්තා” යැයි ද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ.එෆ්.පී.  


RECOMMEND POSTS