උත්සාහය අසාර්ථකයි



රජයක් පිහිටුවීමට තමන් ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වුණැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

ඒ අනුව, පසුගිය මැතිවරණයේදී නෙදන්යාහුට අභියෝගයක් වූ හිටපු මාණ්ඩලික ප්‍රධානී බෙනී ග්‍රෑන්ට්ස්ට රජයක් පිහිටුවීමටත්, අගමැති ධුරයට පත්වීමටත් අවස්ථාවක් උදා වී ඇත.

නෙදන්යාහුට රජයක් පිහිටුවීමට නොහැකි වූ බැවින් රජයක් පිහිටුවීමේ අවස්ථාව ඊශ්‍රායල ජනාධිපති රියුවෙන් රිව්ලින්, නෙදන්යාහුගේ ප්‍රතිවාදියා වන බෙනී ග්‍රෑන්ට්ස්ට ලබා දී ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් නෙදන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට හෝ ප්‍රතිවාදී අපේක්ෂක බෙනී ග්‍රෑන්ට්ස්ගේ නිල් සහ සුදු සන්ධානයට හෝ හැකියාවක් නොලැබුණි.

ඒ අනුව, සෙසු පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවන්නැයි දින 28 ක කාලයක් ඊශ්‍රායල ජනපතිවරයා, නෙදන්යාහුට ලබා දුන්නේය. සෙසු පක්ෂ සමඟ පැවැති සියලු සාකච්ඡා අසාර්ථක විය. නෙදන්යාහු නිල් සහ සුදු සන්ධානය සමඟ එක්වීමටත්, බෙනී ග්‍රෑන්ට්ස් හවුල් කර ගැනීමටත් ගත් උත්සාහය ද අසාර්ථක විය.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS