උණුසුම් පිළිගැනීමක්



තම පවුලේ අයගේ කායික මෙන්ම මානසික පීඩාවලින් බේරී,  ඉස්ලාම් දහම ද අතහැර සරණාගතයකු ලෙස ඕස්ටේලියාවට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී, තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපොළේ කොටුවුණු 18 හැවිරිදි සෞදි තරුණිය රහාෆ් මොහම්මද් අල් කුන්නන් ට කැනඩාවේ රැකවරණ හිමිවී ඇත.

ඒ අනුව, රහාෆ් තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ සෝල් අගනුවරට ගොස් පසුව කැනඩාවේ ටොරොන්ටෝ පියාසර කළාය. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකිම වෙනුවෙන් පෙනී සිටින ඒජන්සියේ ද සහාය ඇතිවය.

ටොරොන්ටෝ බලා පැමිණි රහාෆ් ට කැනඩා රජයෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි. කැනඩා විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන් එහි නියෝජිතවරියන් කණ්ඩායමක් පැමිණ ඇය පිළිගත් බව ද පැවැසෙයි.

රහාෆ් ට රැකවරණය ලබා දීමට කිසිම අවස්ථාවක පැකිළෙන්නේ නැතැයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ද විශේෂ ප්‍රකාශයක් කර තිබුණි. කාන්තා අයිතීන් වෙනුවෙන් කැනඩාව සැමවිමට ඉදිරිපත් වන බවත්, අසරණයට පත්වුණු කිසිදු කාන්තාවකට කැනඩාව පිටුපාන්නේ නැති බවත් කැනඩා අගමැතිවරයා අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS