ඊශ්‍රායලයේ හවුල් ආණ්ඩුවක්



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ ලිකුද් පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ප්‍රධාන ප්‍රතිවාදි පක්ෂය වන බෙනී ග්‍රෑන්ට්ස්ගේ ‘නිල් සහ සුදු සන්ධානය’ එක් වී රජයක් පිහිටුවීමට කැමැත්ත පළ කර තිබේ.

බෙනී ග්‍රෑන්ට්ස් යනු හිටපු හමුදාපතිවරයෙකි. එපමණක් නොව, ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාවේ කතානායක ධුරය ද මොහු විසින් හොබවනු ලැබ ඇත.

පසුගිය වසරේ අවස්ථා කීපයකදී මහ මැතිවරණ පැවැත්විණි. ඒ කිසිදු පක්ෂයකට බහුතරය නොලැබුණු නිසාය. අගමැති නෙදන්යාහු පක්ෂ කීපයක් සමඟ සන්ධානගත වීමට උත්සාහ කළත් අසාර්ථක විය.

අවසානයේ ප්‍රධාන විපක්ෂය වන ග්‍රෑන්ට්ස්ගේ ‘නිල් සහ සුදු සන්ධානය’ සහ අගමැති නෙදන්යාහුගේ ලිකුද් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එක් වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ දේශපාලන අර්බුදය කෙසේ හෝ අවසන් කිරීමේ අරමුණ ඇතිවය.

ඇතිකර ගත් එකඟතාව අනුව, ඉදිරි මාස 18 ක සඳහා නෙදන්යාහු දිගටම අගමැති ධුරයේ සිටිනු ඇත. ඉන්පසු ඊළඟ මාස 18 ක කාලය අගමැති ධුරය දරණු ඇත්තේ ග්‍රාන්ට්ස් ය. නෙදන්යාහු ඊශ්‍රායලයේ අගමැති ධුරය හොබවන්නේ 2009 වසරේ සිටය.

නෙදන්යාහු සහ ග්‍රාන්ට්ස් දෙදෙනා මුහුණට මුහුණ හමුවීමට සලස්වා සාකච්ඡා කර හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කැමැති කරවාගෙන ඇත්තේ ඊශ්‍රායල ජනාධිපතිවරයාය. ඒ, රට තවත් අස්ථාවර වීම වැලැක්වීමේ අරමුණ ඇතිවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS