ඊශ්‍රායලය භූතානය සබඳතා තරකර ගනී



යුදෙව් ඊශ්‍රායලය සහ ආසියානු බෞද්ධ රාජ්‍යයක් වන භූතානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ බව ලොවට නිවේදනය කළේ ඊශ්‍රායල සහ භූතාන විදේශ ඇමැතිවරුන් එක් වී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමිනි. ඊශ්‍රායල විදේශ කටයුතු ඇමැති ප්‍රමුඛ විශේෂ නියෝජිත කණ්ඩායමක් භූතානයට ගොස් එරට විදේශ ඇමැතිවරයා හමුවී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ ගිවිසුම්වලට අත්සන් තැබුවේය.

ආසියාවේ ප්‍රධාන බෞද්ධ රාජ්‍යයක් වන භූතානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බවත්, ආසියාවේ තවත් මිතුරකු තමන්ට ලැබුණු බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු, භූතානයේ තිම්පු අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයක් පිහිටුවීම සිදුවනු ඇති අතර, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර භූතාන තානාපති කාර්යාලයක් පිහිටුවීම සිදුවෙයි. දෙරට අතර ගුවන් ගමන් කෙරෙහි ද මේ වනවිට අවධානය යොමු වී ඇතැයි ද පැවැසෙයි.

පසුගිය කාලයේ ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් අතර යහපත් සබඳතා වර්ධනය විය. ඉකුත් සතියේ මොරොක්කෝව සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹුණි.

මේ වනවිට බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා ආරම්භ කර තිබේ. ඒ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඊශ්‍රායලය සහ භූතානය අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට ඇමෙරිකාවේ මැදිහත් වීමක් අවශ්‍ය නොවුනු බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS