ඊශ්‍රායලය දිගට හරහට පහර දෙයි



ගාසා තීරයේ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 24 දෙනකු මියගිය බවත් 203 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය 24 දෙනා අතර අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් 6 දෙනකු සිටින බව ද පැවැසෙයි. ගාසා තීරයේ ගොඩනැගිලි රැසකට ද ඊශ්‍රායල මිසයිල සහ රොකට් ප්‍රහාරවලින් හානි සිදුවී තිබේ.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට පහර දුන්නේ ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සාමාජිකයන් සහ එහි එක් නායකයකු වන ටයිරීස් ජබාරි ඉලක්ක කර ගනිමිනි. ඊශ්‍රායලයේ වැඩ බලන අග්‍රාමාත්‍ය යාර් පවසා ඇත්තේ  ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ ත්‍රස්ත කල්ලියඅඩපණ කිරීමට එම ගුවන් ප්‍රහාර සමත් වූ බවය.

ඊශ්‍රායල හමුදාව, ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ ත්‍රස්ත කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය සිකුරාදා (5) ය. ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ සතියක් පුරා, එය සැලැසුම් කිරීමෙන් පසුව යැයි ඊශ්‍රායල හමුදාව සහ බුද්ධි අංශ පැහැදිලි කර තිබේ.
ඊශ්‍රායල හමුදාව මිසයිල සහ රොකට් ප්‍රහාර එල්ල කරද්දී, ගාසා තීරයේ සටන්කාමීන් ද ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කළේය. කෙසේ නමුත් එයින් ඊශ්‍රායලයේ කිසිවකුට අනතුරක් සිදු නොවිණි.

ගුවන් ප්‍රහාරවලට අමතරව, ඊශ්‍රායල හමුදාව මැදිහත් වීමෙන් බටහිර ඉවුරේ ස්ථාන කීපයක වැටළීම් කළ සිදුවිය. එම වැටළීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 19 කි. ඔවුන් සියලු දෙනා පලස්තීන ඉස්ලාමික් ජිහාද් සටන්කාමීන් බව පැවැසෙයි. ඊයේ (6) වනවිට ගාසා තීරයේ වැටළීම් 30 ක් සිදු කළ බවත්, ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක 40 කට මිසයිල ප්‍රහාර 55 ක් එල්ල කළ බවත් ඊශ්‍රායල හමුදාව පවසා තිබුණි.
‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ යනු ඉරානයේ අනුග්‍රහය සහ සහාය ලබන ත්‍රස්ත කල්ලියකි. ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ කල්ලියේ අරමුණ ඊශ්‍රායලය විනාශ කර දැමීමය. මෙම ත්‍රස්ත කල්ලිය ස්ථාපිත කරනු ලැබුවේ 1981 දීය.

බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ට අනතුරක් වන අයුරින් ඊශ්‍රායල හමුදා ආරම්භ කළ ප්‍රහාර හෙලා දකින බව ඉරානය ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසා තිබේ. කුඩා දරුවන් මරා දමමින් පලස්තීන වැසියන් පීඩාවට පත් කරන ඊශ්‍රායලයට කවදා හෝ එම අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බ ඉරාන ජනාධිපතිවරයා අවධාරණළුය කර ඇත.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට තර්ජනයක් වන අයුරින් බටහිර ඉවුරට එල්ල කළ රොකට් ප්‍රහාර හෙලා දකිමින් ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඊශ්‍රායලයේ ‘කුරිරුකම්’ හමුවේ, පලස්තීනුවන් තනි නොකරන බව ඉරාන විප්ලවීය හමුදා ප්‍රධානී හොසේන් සලයිමී පවසා තිබේ. හමුදා ප්‍රධානී හොසේන් සලයිමී සහ ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ කල්ලියේ ජ්‍යෙෂ්ඨ නායක සියාද් අල් නක්හාලා අතරේ හදිසි හමුවක් ඉරානයේ තෙහෙරාන් අගනුවරදී සිදුවුණු බව අල් ජසීරා පුවත් සේවය ඊයේ (6) වාර්තා කළේය.

බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, ඊශ්‍රායලය රොකට් ප්‍රහාර එල්ල කිරීම සහාසික අපරාධයක් යැයි අරාබි ලීගය ඊශ්‍රායලයට සිය අප්‍රසාදය පළ කර තිබේ. අරාබි ලීගය, ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නිර්මාණය වූ අර්බුදය සමතයකට පත් කිරීමට මැදිහත් වන ලෙසය. ඊශ්‍රායලයේ ‘යුද අපරාධ’ ගැන සොයා බලන්නැයි අරාබි ලීගය, එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් සහ මානව හිමිකම් සංවිධානයෙන් ද මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර හටගත් නව අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වීමට ඉඩ නොතබා අවසන් කළ යුතු යැයි ඊජිප්තුව පෙන්වා දෙයි. අවශ්‍ය වුවහොත් අර්බුදය අවසන් කිරීමට තමන් මැදිහත් වන බවත් ඊශ්‍රායල රජයේ පාර්ශ්ව සමඟත්, පලස්තීන සටන්කාමීන් සමඟත් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඊජිප්තු රජය පවසා තිබේ. මීට පෙර 2021 වසරේ දින 11 ක කාලයක් ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර ගැටුම් පැවැතිණි. එම අවස්ථාවේ දී ඊට මැදහත් වී අර්බුදය විසඳා දීමට සමත් වූයේ ඊජිප්තුවය.

(රොයිටර්)


RECOMMEND POSTS