ඊශ්‍රායල මැතිවරණයේ ජයග්‍රාහකයෙක් නෑ



ඊශ්‍රායල මහ මැතිවරණය ඊයේ (9) පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වුණු කිසිදු පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකියාව ලැබී නැති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ඡන්ද ගණන් කිරීම ඊයේ සවස ආරම්භ විය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ ලිකුද් පක්ෂය ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ක්නෙසන්ට් සහභාවේ ආසන 33 ත් 36 ත් අතර සංඛ්‍යාවක් දිනා ගැනීමට නියමිතව තිබුණි.

නෙදන්යාහුට අභියෝගයක් වූ මධ්‍යස්ථ මතධාරී නිල් සහ සුදු පක්ෂය ආසන 36 ක් හෝ 37 ක් හෝ දිනා ගැනීමට නියමිතව තිබුණි. මෙම පක්ෂය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඊශ්‍රායලයේ හිටපු හමුදාපතිවරයකු වන ජනරාල් බෙනී ග්‍රාන්ට්ස් ය.

අගමැති නෙදන්යාහු පමණක් නොව බෙනී ග්‍රාන්ට්ස් ද මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය පෙන්වා දුන්නේය. ඊශ්‍රායල ඉතිහාසය පුරාවට කිසිදු පක්ෂයක් තනිව ආණ්ඩුවක් පිහිටුවා නැත.

ක්නෙසන්ට් සහභාව ආසන 120 කින් සමන්විත අතර, බහුතර බලය වෙනුවෙන් ආසන 60 ක් දිනා ගැනීම කළ යුතුව ඇත.

ඒ අනුව, නව රජයක් පිහිටුවීමට නම් දක්ෂිණාංශික අදහස් ඇති අගමැති නෙදන්යාහු සහ ඔහුගේ ලිකුද් පක්ෂයට හෝ නිල් සහ සුදු පක්ෂයට ඔවුන්ට හිතවාදී සෙසු දේශපාලන පක්ෂ හවුල් කර ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලිකුද් පක්ෂයට එසේ සංධානගතවී රජයක් පිහිටුවීමට හැකිවුවහොත්, අගමැති නෙදන්යාහු ඊශ්‍රායල අගමැති ධුරයට පත්වනු ඇත්තේ පස්වැනි වරටය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS