ඊශ්‍රායල නිවේදිකාව ප්‍රවෘත්ති කියද්දී අඬලා



සජිවීව පුවත් ගෙන එමින් සිටිද්දී ඊශ්‍රායල පුවත් නාළිකාවක නිවේදිකාවක හැඟීමී බරව කඳුළු සැලූ පුවතක් වාර්තා වේ.
ගූලා ඉවොන් නමැති එම නිවේදිකාව ඊශ්‍රායලයේ ‘චැනල් 1’ පුවත් නාළිකාවේ ප්‍රධාන පුවත් නිවේදිකාවය.

නාළිකාව වසා දමන්නැයි ඊශ්‍රායල පාර්ලිමේන්තුව තීන්දු කර ඇති අතර, එම පුවත ‘විශේෂ පුවතක්’ ලෙස ප්‍රවෘත්ති හරහා ඉදිරිපත් කිරීමට සිදුවූයේ ගූලා ඉවොන්ටය.

‘මෙන්න දැන් ලැබුණු පුවතක්’ යැයි පවසමින් වසර 49 ක් තිස්සේ ඊශ්‍රායල පුවත් නාළිකා අතර කැපී පෙනුණු චැනල් 1 නාළිකාව වසා දමන බවට නිකුත් කළ නිවේදනය කියවද්දී, ගූලා ඉවොන් හැඟීම් බරවූවාය. ‘එහෙනම්, මේක තමා අපේ අවසන් ප්‍රවෘත්ති විකාශය’ යනුවෙන් ද ඇය පැවැසුවාය.

නිවේදිකා ගූලා ඉවොන් සජීවීව හැඟීම් බර වුණු මෙම සිදුවීම සිදුවූයේ පසුගිය මැයි 9 වැනිදාය. කෙසේ නමුත් එම වීඩියෝ දසුන් පෙළ ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා මේ වනවිට ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

‘චැනල් 1’ පුවත් නාළිකාව ඊශ්‍රායල රජය සතු නාළිකාවකි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ තීරණයකට අනුව එය වසා දැමීම සිදුවූයේ අගමැතිවරයා හඳුන්වා දී ඇති ‘මාධ්‍ය පාලනය’ කිරීමේ නව ප්‍රතිපත්ති හේතුවෙනි.

(බී.බී.සී.)


RECOMMEND POSTS