ඊශ්‍රායල අගමැති හමුවන්න සූදානම්



 
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පලස්තීනයේ සංචාරයක නිරත වනු ඇතැයි ද තමා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මුණ ගැසීමට සූදානම් යැයි ද මහ්මුද් අබ්බාස් අඟහරුවාදා ප්‍රකාශ කළේය.
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සාම ක්‍රියාවලියේ කොටසක් ලෙස එය සිදුවන බව ද පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් කීවේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ මස අගදී තම පළමු නිල විදෙස් සංචාරයේ කොටසක් ලෙස ඊශ්‍රායලයට පැමිණීමට නියමිත අතර එහි කොටසක් ලෙස ඔහු බෙත්ලෙහෙමට ගමන් කිරීමට ද නියමිත බව පලස්තීන ජනාධිපති අබ්බාස් පැවැසීය.
 
“අපි ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඔහු බෙත්ලෙහෙමට පැමිණෙනවා” යැයි ජනාධිපති අබ්බාස් කීය. ඒ අනුව ඇමෙරිකා ජනාධිපතිවරයා මැයි 23 වැනිදා බෙත්ලෙහෙමේ සංචාරයක නිරත වනු ඇතැයි පැවසේ.
 
“අපි ඔහු සමඟත් ඊශ්‍රායල අගමැතිවරයා සමඟත් කටයුතු කිරීමට කැමැතියි. ඇමෙරිකා ජනාධිපතිවරයා සාමය ගොඩනැගීමට අනුග්‍රහය දක්වනවා. අපි ඊට සහාය දක්වන කැමැතියි” යැයි ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර් හා සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කීය.
 
 
පලස්තීන නායකයා ඉකුත් සතියේදී වොෂින්ටනයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හමු වී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීය. ජනාධිපතිවරයා ලෙස තම පළමු විදෙස් සංචාරයේදී ඉස්ලාම් දහම, යුදෙව් දහම සහ කතෝලික දහම ආරම්භ වූ සෞදි අරාබිය, ඊශ්‍රායලය හා වතිකානයේ සංචාරය කරන බව එම සතියේදීම ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේය. 

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)

 


RECOMMEND POSTS