ඊශ්‍රායල අගමැති පැරිසියේ



ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමඟ යුරෝපා රටවල අප්‍රසාදයට ලක්වී සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හොඳහිත දිනා ගැනීමේ අරමුණින් යුරෝපා සංචාරයක් ආරම්භ කළේය.

යුරෝපා සංචාරය ආරම්භ කරමින්, නෙදන්යාහු පළමුවෙන්ම පැමිණියේ ප්‍රංශයේ පැරිස් නුවරටය. ඔහුට එරෙහිව විරෝධතා රැලි පැවැත්විණි. එහෙයින්, ඊශ්‍රායල අගමැතිවරයාට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ප්‍රංශ රජයට සිදුවිය.

ප්‍රංශ ජනපති මන්දිරය හෙවත් ඉලීසේ මාලිගයේදී ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවෙමින්, ඊශ්‍රායල අගමැති නෙදන්යාහු හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

ඊශ්‍රායලයට පක්ෂව ට්‍රම්ප් ගත් මෙම තීරණය ගැන කිසිදු පැහැදීමක් තමාගේ නැති බවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ප්‍රංශ ජනපති මැක්රොන් ඊශ්‍රායල අගමැතිවරයාට පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් ගත් මෙම තීරණය සාධාරණීය කිරීමට පලස්තීන අගමැති උත්සාහ කළේය. ට්‍රම්ප්ගේ තීරණය ඊශ්‍රායල පලස්තීන අර්බුදයට බාධාවක් නොවන බව ද අගමැති නෙදන්යාහු ප්‍රංශ ජනපතිවරයාට පැහැදිලි කළේය.  සාකච්ඡාවලින් පසු දෙදෙනා එක්වී මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. එහිදී ට්‍රම්ප්ගේ තීරණය ලෝකයා හමුවේ සාධාරණීකරණය කිරීමට අගමැති නෙදන්යාහු කටයුතු කළේය.

ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් සතුටට පත් වූයේ ඊශ්‍රායල වැසියන් සහ අගමැති නෙදන්යාහු පමණි. ප්‍රංශය, බි්‍රතාන්‍යය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් පමණක් නොව, ලෝකයේ සෙසු මුස්ලිම් රටවලින් ද ට්‍රම්ප් ගත් තීරණයට විරෝධයක් එල්ල වෙමින් පවතී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS