ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට අභියෝගයක්



ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙන්ම පාලක ලිකුද් පක්ෂයේ නායකයා ද වන බෙන්ජමින් නෙදන්යාහුට පක්ෂ නායකත්වය වෙනුවෙන් අභියෝගයක් එල්ල විය.

ලිකුද් පක්ෂ නායකත්වය වෙනුවෙන් නෙදන්යාහුට අභියෝග කළේ එම පක්ෂයේ ප්‍රබලයකු වන 53 හැවිරිදි ගයිඩියොන් සාර් ය. ඒ අනුව, පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ලිකුද් පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්විණි.

ලිකුද් පක්ෂයේ සාමාජිකයන් 1,16,000 දෙනා එම ඡන්ද විමසුමට සහභාගී වූ බව පැවැසෙයි. එයින් සියයට 49 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් ජයග්‍රහණය කිරීමට නෙදන්යාහු සමත් වූ බව වාර්තා වේ.

70 හැවිරිදි නෙදන්යාහුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත. මෙම වසරේ අප්‍රේල් මාසයේදීත් ඉන්පසු සැප්තැම්බර් මාසයේදීත් ඊශ්‍රායල මහ මැතිවරණ දෙකක් පැවැත්විණි. ඒ, නෙදන්යාහුගේ ලිකුද් පක්ෂයට හෝ ප්‍රතිවාදී නිල් සහ සුදු විපක්ෂ සන්ධානයට හෝ බහුතර බලයක් හිමි නොවූ බැවිනි.

දූෂණ චෝදනාවලට ලක්වුවත්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන නෙදන්යාහු අගමැති ධුරය අත්හැරීමට සූදානම් වන්නේ නැත. එහෙයින් ඊශ්‍රායලයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. ලබන 2020 වසරේ යළිත් වරක් ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS