ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී 32 ක් මියයති



ඊජිප්තුවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් තිස් දෙදෙනකු ජීවත්ෂයට පත්වුණු බවත් 108 දෙනකු තුවාල ලැබූ බවත් අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අනතුර සිදුවී ඇත්තේ එක් දුම්රියක හදිසි තිරංග පද්ධතිය කිසියම් අයකු විසින් ක්‍රියාත්මක කිරීම නිසා යැයි පැවැසෙයි. දුම්රිය දෙක එකිනෙකට ගැටෙද්දී, මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවුණු බව ද පැවැසෙයි.

දුම්රිය මාර්ගයේ එක පොදියට ගොඩගැසුණු මැදිරි තුළ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි. තුවාල ලැබූවන් අතරින් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ තවත් ඉහළ යා හැකි යැයි ද පැවැසෙයි.

අනතුර සිදුවූයේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 500 ක් දුරින්, සොහාග් නගරයට නුදුරිනි. දුම්රිය අනතුර සිදුවුණේ කෙසේදැයි සොයා බලන බවත්, වරදකරුවන්ට දඩුවම් කරන බවත් ඊජිප්තු ජනාධිපති අල් සීසී පවසා තිබේ.

ජනාධිපති අල් සීසීගේ උපදෙස් අනුව, ඊජිප්තු අග්‍රාමාත්‍ය මොස්තාෆා මැඩ්බොවුලි අනතුර සිදුවුනු ස්ථානයට ගිය බවත්, අග්‍රාමාත්‍යවරයා සමඟ ඊජිප්තු සෞඛ්‍ය ඇමැති ද එම ගමනට එක් වුණු බවත් අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS