ඉස්තාන්බුල් නුවරට හිමකැට වැස්සක්



තුර්කියේ ඉස්තාන්බුල් නුවරට හිටිහැටියේ තද සුළං ද සමඟ මහ වැස්සක් ඇද හැලුණේ හිම කැට ද සමඟය. කුණාටුවට හසුවුණු 10 දෙනෙක් තුවාල ලැබූහ.

ගොල්ෆ් බෝල තරම් වූ එම හිම කැට හේතුවෙන් නිවාස 90 කට සහ වාහන රැසකට දරුණු හානි සිදුවිය. අධික වර්ෂාව හේතුවෙන් නගරයේ පළාත් රැසක් යටවිය. ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වූ අතර විදුලි බල සැපැයම්වලට ද බාධා එල්ල විය.

කුණාටුව සමඟ අකුණු ගසන්න ද විය. අකුණු ප්‍රහාරවලට ලක්වීමෙන් ඉන්ධන පිරවුම්වලක් සහ විදුලි බලාගාරයක ගින්නක් ද හටගත්තේය.

ගොල්ෆ් බෝල තරම් සවිමත් හිස කැට පතිත වීමත් සමඟ නගර වැසියෝ මහත් සේ බියට පත් වූහ. කුණාටුව හේතුවෙන් හිටිහැටියේ අහස අඳුරු වෙද්දී නගර වැසියෝ හිස් ලූලූ අත දිව ගියේ යැයි ද වාර්තා වේ.

හිම කැට වැස්ස හේතුවෙන් ඉස්තාන්බුල් නුවර අටාර්ටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙමින් තිබුණු ගුවන් යානා 16 ක් ආපසු හරවා වෙනත් ගුවන්තොටුපොළවලට යැවීමට ගුවන් ගමන් පාලන අධිකාරිය වහා කටයුතු කළ බව ද වාර්තා වේ. එක් ගුවන් යානයකට හිම කැට හේතුවෙන් හානි සිදුවී තිබුණු බව ද පසුව දැනගන්න ලැබුණි.

හිටිහැටියේ පහළ වුණු මෙම අසාමාන්‍ය කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ගණන 7,000 කට වැඩි යැයි නගර බලධාරීහු වැඩි දුරටත් කියා සිටී. කුණාටුව හමා යද්දී, බොහෝ දෙනා නගරසභා ශාලාවට දිව ගොස් බේරීමට උත්සාහ ගත්තේ යැයි ද වාර්තා වේ.

කාලගුණ විද්‍යාඥයන් කියා සිටියේ මෙම කුණාටුව ගැන ඔවුන්ට ද කල්තියා අනතුරු ඇඟවීමක් කිරීමට නොහැකි වුණු බවය. ඊට හේතුව මෙවැනි කුණාටු ස්වභාදහමේ අද්භූත සන්සිද්ධීන් ලෙස ඔවුන් සලකන බැවිනි.

 (රොයිටර්)


RECOMMEND POSTS