ඉස්තාන්බුල් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්: 30 ක් මරුට



 

 

 (රොයිටර්)
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පෙරේදා (10) ත්‍රස්ත ප්‍රහාර මාලාවකින් කැළැඹුණු අතර 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 166 කි. බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ බහුතරය පොලිස් නිලධාරීන් යැයි වාර්තා වේ. 
පළමු බෝම්බ දෙක කාර් බෝම්බ වූ අතර ඒවා පුපුරා ගියේ ඉස්තාන්බුල් බෙසික්ටාස් පා පන්දු ක්‍රීඩාංගනය අසලය. ඒ වනවිට ප්‍රධාන පෙළේ පා පන්දු තරගයක් පැවැත්වෙමින් තිබුණි. 
බෝම්බ පුපුරා යෑමත් සමඟ හටගත් කලබලය අතරතුරේ, බෝම්බ පිපිරී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී තෙවැනි බෝම්බය පිපිරිණි. ඒ, පිරිසක් පා පන්දු ක්‍රීඩාංගනය අසල පිහිටි මැකා ඩොමොක්රාසී උද්‍යානයේදීය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය. 
සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ බෝම්බ කබාපකින් සැරැසී සිටි බෝම්බකරු බෝම්බය පුපුරුවා ගැනීමට පෙර උද්‍යානයේ සිටි පිරිස් වෙත වෙඩි වරුසාවක් ද එල්ල කළ බවය.
කාර් බෝම්බ දෙකට බිලි වුණු 30 දෙනා අතර සිටින පොලිස් නිලධාරීන් ගණන 27 ක් යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සෙසු තිදෙනා සිවිල් වැසියෝය. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති අතර එය අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ගේ හෝ කුර්දි බෙදුම්වාදීන්ගේ හො සැහැසි කියාවක් යැයි සැක පළ කෙරේ.
ප්‍රහාරයෙන් පසු ඊට අදාල සැකකරුවන් සොයා ඉස්තාන්බුල් පොලිසිය ඊයේ (11) වැටළීම් කිහිපයක් සිදු කළේය. එහිදී සැකපිට පුද්ගලයෝ 10 දෙනෙක් අත්අඩංගුවට ගැනුණාහ.
ප්‍රහාරය සිදුකළ ‘ත්‍රස්තවාදීන්ට’ කිසිදු සමාවක් නොදෙන බවට තුර්කි ජනාධිපති එර්ඩෙගොන් ප්‍රතිඥා ලබා දී ඇති බව ද එරට පුවත් සේවා වාර්තා කර ඇත. ජනපතිවරයා කසක්ස්තානයේ සංචාරයකට යෑමට නියමිතව සිටි අතර, බෝම්බ ප්‍රහාර හේතුවෙන් එම සංචාරය අත්හිටුවීය.

RECOMMEND POSTS