ඉරානයේදීත් නිදහස සැමරේ !



ඉරානයේ ටෙහෙරාන් නුවරදීත් ශ්‍රී ලංකාවේ අභිමානවත් 70 වැනි නිදහස් සැමරුම් උත්සවය ඉරානයේ ශ්‍රී ලංකා තානපති ආචාර්ය එම්.එස්.අනීස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉරාන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ජාතික ධජය ඔසවමින් සහ ජාතික ගීය ගායනා කිරීමෙන්  අනතුරැව මෙම නිදහස් සැමරැම් උත්සවය ආරම්භ විණි.ඉරානයේ වෙසෙන ලාංකිකයින් පිරිසක් මෙහිදී ජාතික ගීය ගායනා කිරීම විශේෂත්වයකි.ඉන්පසුව රට දැය වෙනුවෙන් දිවි පිදූ ජාතික විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කරන ලදී.

ඉන්අනතුරුව ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් නිදහස් දින වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහත්වරැන් නිකුත් කළ නිදහස් දින පණිවිඩ පැමිණ සිටින අමුත්තන් හමුවේ කියවන ලදී.

පැමිණ සිටි සම්භවනීය අමුත්තන් හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ අනාගත සැලසුම් , දැක්ම  සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩපිළිවෙල ගැන කියා සිටියේය.

ඉරාන ජාතිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණෙන් ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නිරෑපණය කරන කෙටි වීඩියෝ පට පහක්ද පැමිණ සිටින අමුත්තන් හමුවේ ප්‍රදර්ශනය කෙරිණි.නිදහස් දින සැමරුම් උත්සවය අවසානයේ පැමිණ සිට පිරිස් වෙත භෝජන සංග්‍රහයක්ද ලබා දෙන ලදී.

 


RECOMMEND POSTS