ඉරානයේ විරෝධතා දිගටම



දිනෙන් දින ඉහළ යන භාණ්ඩ සහ ඉන්ධන මිලට විරෝධය පළ කරමින්, ඉරානයේ තෙහෙරාන් අගනුවර විරෝධතා දිගටම පැවැත්වෙයි.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ දහසකට ආසන්න පිරිසක් තෙහෙරාන් අගනුවර ඉවීදි බැස විරෝධතාවල නියැලුණු බවය. විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යෙදවීමට ඉරාන බලධාරීහු කටයුතු කළහ.

පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේදී දෙපිරිස අතර දරුණු ගැටුම් හටගත්තේය. ටයර් සහ මෝටර් රථ ගිනි තබමින් විරෝධතාකරුවෝ කලහකාරීව හැසිරෙන්න වූහ.
ඇතැම් ඉරාන විරෝධී බටහිර හිතවාදී පුවත් සේවා වාර්තා කළේ එම වෙඩි තැබීම්වලින් විරෝධතානකරුවන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

කලහකාරීව හැසිරුණු පිරිස් තෙහෙරාන් නුවර නගරසභා ගොඩනැගිල්ලට ද කඩා වදී අලාභහානි සිදු කර ඇතැයි ද වාර්තා වේ. ඉහළ යන බඩු මිල සහ ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ඉරානයේ මෙසේ විරෝධතා ආරම්භ වූයේ පසුගිය සිකුරාදා සිටය.

විරෝධතා ආරම්භ වූයේ ඊසාන දෙසින් පිහිටි මෂාද් නගරයෙනි. පසුගිය සෙනසුරාදා වෙද්දී, විරෝධතා තෙහෙරාන් අගනුවරටත්, අරාක්, කස්වින්, කොරම්බාද්, කරාජ් කෙර්මන්ෂා ඇතුළු ප්‍රධාන නගර කිහිපයකටත් පැතිර යන්න වූ බව ඉරාන උප ජනාධිපති ඉෂාක් ජහන්ගීරි ඉරානයේ ‘ඉරානා’ පුවත් සේවය සමඟ පවසා ඇත.

එම විරෝධතා මේ වනවිට සෙසු නගර සහ පළාත්වලට ද පැතිර යමින් ඇතැයි වාර්තා වේ. විරෝධතා මර්දනය කිරීමට දඬදඩු තීරණ ගෙන ඇති ඉරාන රජය, එරට අන්තර් ජාල සහ සමාජ සේවා වෙබ් අඩවි තහනම් කිරීමට ද පියවර ගෙන ඇත. ඒ, විරෝධතා සඳහා පිරිස් එක්රොක්වීම වළක්වමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS