ඉරානයේ විරෝධතා ඔඩුදුවයි



හිජාබය පැලැඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ දලදඬු නීතිවලට විරෝධය පාමින්, ඉරානයේ හටගත් විරෝධතා දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

ඊයේ (22) වනවිට විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරේ පැවැති දරුණු ගැටුම් හේතුවෙන් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 221 කි. අත්අඩංගුවට ගැණුනු විරෝධතාකරුවන් ගණන 250 කි.

විරෝධතාවලට හේතුව, හිජාබය නිසි ලෙස පැලැඳ නොසිටි බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගත් ඉරානයේ කුර්දි තරුණියක මියයෑමේ සිදුවීමකි.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට තමන් උපදෙස් දුන් බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසී විරෝධතාකරු හමුවේ පවසා ඇත. ඊට අමතරව, රට අස්ථාවර කිරීමෙන් වළකින්නැයි ද විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මේ වනවිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා නිව්යෝක් අගනුවරට පැමිණ සිටී. ඉරානයේ දලදඬු හිජාබ නීති සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයාට සහ ඉරාන රජයට එරෙහිව නිව්යෝක් නුවර ද විරෝධතා පැවැත්වෙයි. මීට අමතරව ජර්මනියේ බර්ලීන් අගනුවර ද ඉරාන රජයට එරෙහිව විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මාෂා අමීනී, ඉරානයේ කුර්දිස්ථාන තරුණියකි. ඇය ඉරානයට බටහිර දෙසින් පිහිටි සෙකෙසේ නමැති කුර්දිස්ථාන ප්‍රාන්තයේ පදිංචිකාරියකි.

පසුගිය 13 වැනිදා මාෂා, ඇගේ සොහොයුරා ද සමඟ ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ ඇත. තෙහෙරාන් අගනුවර බලා දිවෙන හක්කානී අධිවේගී මාර්ගයේ පිවිසුම අසලදී, ‘සදාචාරය සුරැකීම වෙනුවෙන්’ පිහිටුවා ඇති ඉරාන පොලිස් නිලධාරීන් මාෂා අමීනී අත්අඩංගුවට ගත්තේ ඇය නිසි පරිදි හිජාබය පැලඳ නොසිටි බවට චෝදනා නගමිනි.

මාෂා අමීනීගේ සෙහොයුරා මාධ්‍ය හමුවේ කියා සිටියේ, පොලිසිය බලහත්කාරයෙන් තම සොහොයුරිය අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගිය බවය. පොලිසිය පසුව ඇය නිදහස් කළ නමුත් ඇය කඩිනමින් රෝහල් ගත කෙරුණි.

මාෂා අමීනී මියගියේ සිහිසුන්ව කෝමා තත්ත්වයෙන් දින තුනක් රෝහල්ගතව සිටීමෙන් පසුවය. පොලිස් නිලධාරීන් ඇයට පහර දුන් බවටත්, එම පහර කෑමෙන් ඇය මියගිය බවටත් චෝදනා නැගෙන්න විය. වෛද්‍ය වාර්තාවල දැක්වෙන්නේ මාෂා අමීනී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝගී වී මියගිය බවය. මාෂා අමීනීගේ පියා දියණිය වෙනුවෙන් හඬා වැළපෙමින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තම දියණියට හෘද රෝගී තත්ත්වයක් නොතිබුණු බවය.

පළමුවෙන් ඉරානයේත් ඉන්පසු ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සහ ජර්මනියේ බර්ලීන් නුවරත් ඉරාන රජයට එරෙහිව විරෝධතා ආරම්භ වූයේ ඉන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS