ඉරානයේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා



රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරමින්, ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව ප්‍රධානී වොල්කර් ටර්ක් චෝදනා කරයි.

ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට යෝජනාවක් ගෙන ඒමට ද ප්‍රධානී වොල්කර් ටර්ක් මැදිහත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සාමාජිකයන් 47 දෙනකුගෙන් සමන්විතය. ඉරානය සම්බන්ධ යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී සාමාජික රටවල් 25 ක් ඊට කැමැත්ත පළ කළ අතර සාමාජික රටවල් 16 ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

යෝජනාවට විරෝධය දක්වමින්, ඉරානයට සහාය පළ කරමින් ඡන්දය ලබා දුන් රටවල් වන්නේ ආමේනියාව, චීනය, කියුබාව, ඉරිත්‍රියාව, පාකිස්තානය සහ වෙනිසියුලාවය.

යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු ඉරානයේ සිදුවන මානව හිමිකම් උල්ලංගනය වීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ප්‍රධානී වොල්කර් ටර්ක් පැවැසීය.

‘ඉරාන වැසියන් වෙනසක් අපේක්ෂා කරනවා. ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංගනය කරමින් එම වැසියන් පීඩාවට පත් කරනවා. ඉරානයේ සිදුවන්නේ කුමක්දැයි පුළුල් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත් විය යුතුයි. ඊට අදාල යෝජනාවට අනුමැතිය හිමිවුණා’ යැයි ප්‍රධානී වොල්කර් ටර්ක් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ මීට සති කීපයකට පෙර, නිසි ලෙස හිජාබය නොපැලඳ සිටියේ යැයි චෝදනා කරමින්, පොලිස් අත්අඩංගුවට ගැණුනු මාෂා අමීනි නමැති ඉරාන කුර්දිස්තාන තරුණිය මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. විරෝධතා සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඉරාන කුර්දි වැසියන්ය.

වෙනසක් අවශ්‍ය බව රජයට බල කරමින් පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මේ වනවිට 500 කට වැඩි ඉරාන කුර්දි වැසියන් පිරිසක් ඉරාන ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මියගොස් ඇතැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන පවසා තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS