ඉරානයේ බැංකු 18කට ඇමෙරිකාවෙන් සම්බාධක



ඉරානයේ මූල්‍ය ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් නව සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉරානයේ ප්‍රධාන පෙළේ බැංකු 18කට සම්බාධක පනවන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටියි. ඉරානය ත්‍රස්තවාදයට උදව් කරන්නේ යැයි ද ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම චෝදනා කරයි.

නව කොරෝනා වයිරසය ඇතුළු තවත් හේතු ගණනාවක් නිසා ඉරාන ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. එබැවින් මෙම සම්බාධකවලින් ඉරාන ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ. ට්‍රම්ප් පරිපාලනය පැනවූ මෙම නව සම්බාධක හේතුවෙන් ඉරානයේ ගෝලීය මූල්‍ය පද්ධතියෙන් ඉවතට විසි වීමේ අවදානමක් පවා තිබෙන බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉරානයේ ප්‍රධාන පෙළේ බැංකු 18කට සම්බාධක පැනවූ අතර එයින් 16ක් ඉරානය මූල්‍ය තුළ ක්‍රියාත්මක වේ. මෙම බැංකු සියල්ලම අසාදු ලේඛන ගත කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. මේ අතර තිබෙන එක් බැංකුවක් පාලනය කෙරෙන්නේ කලින් අසාදු ලේඛන ගත කළ බැංකුවකින් බවත් අදාළ බැංකු ඉරාන හමුදා සමඟ සම්බන්ධකම් පවත්වන බවත් ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“ඉරානය ආර්ථිකයේ විවිධ අංශ ඉරාන ආණ්ඩුවේ නීතිවිරෝධී කටයුතුවලට අරමුදල් සපයනවා” යැයි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

යුරෝපයේ රටවල් රැසක් ඇමෙරිකාව මෙලෙස ඉරානයේ බැංකුවලට සම්බාධක පැනවීමට ගත් තීරණයට විරෝධය පළ කර ඇත. මෙම සම්බාධක හේතුවෙන් අදාළ බැංකු සමඟ ගනුදෙනු කරන විදේශීය බැංකු හා සමාගම් දැඩි අපහසුතාවකට පත්වන බවත් එම විදේශීය බැංකු හා සමාගම්වලට ඇතැම් විට ඇමෙරිකාවේ දඬුවම්වලට යටත් වීමට සිදුවනු ඇති බවත් යුරෝපයේ රටවල් පෙන්වාදෙයි.

“අපි මේ ගත්තු ක්‍රියාමාර්ගවලින් ඉරාන ජනතාවට සහාය දෙන මානුෂීය ගනුදෙනුවලට අවස්ථාව ලැබෙනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් පැවැසීය.

කෙසේ නමුත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් ඇමෙරිකාවට චෝදනා එල්ල වී තිබේ. මෙම සම්බාධක හේතුවෙන් ඉරාන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් මානුෂීය ආධාර ලබාදීමට බාධා එල්ල වී ඇතැයි ද එම පිරිස් පෙන්වාදෙති.

මෙම සම්බාධකවලින් මානුෂීය ගනුදෙනුවලට බාධා එල්ල වන්නේ නැති බවට ස්ටීවන් මනුචින් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

“කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ඇමෙරිකානු රෙජීමයට අපේ ආර්ථිකයට පහරදෙන්න වුවමනා වෙලා. ඔවුන්ට අපට ආහාර සහ ඖෂධ ගන්න ඉතිරි වෙලා තියෙන මාර්ග සියල්ල පුපුරුවා හරින්න වුවමනා වෙලා. ඉරාන ජනතාව මේ කෲරත්වයට මුහුණ දෙනවා. සමස්ත රටක් කුසගින්නේ තැබීමට කුමන්ත්‍රණ කිරීම මනුෂ්‍යත්වයට එරෙහිව කරන අද අපරාධයක්. අපේ සල්ලි අවහිර කළ වැරැදිකරුවන් සහ ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණත්වය ඉටු වේවි” යැයි සරීෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රොයිටර්


RECOMMEND POSTS