ඉරානයේ ආසාදිතයෝ මිලියන 25 ක්



ඉරානයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් මිලියන 25 ක් සිටින බවත් තවත් මිලියන 35 කට වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් එරට ජනාධිපති හසන් රොව්හානී පවසයි.

ඉරාන ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මේ බව කියා සිටියේ එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා අනුවය.

‘සෞඛ්‍ය අංශ පවසන අන්දමට මේ වනවිට මිලියන 25 ක් වයිරස ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. 14,000 ක් දෙනා මියගොස් තිබෙනවා. තවත් මිලියන 30 කට හෝ 35 කට වයිරසය ආසාදනය වේවි යැයි සෞඛ්‍ය අංශ බිය පළ කරනවා’ යැයි ජාතිය අමතමින් ඉරාන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඉරාන ජනගහනය මිලියන 80 කි. මැදපෙරදිග කලාපයේ ‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැට කන රටක් වන්නේ ඉරානයයි. ඉරානය ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකන් සමාබාධක මැදය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට යළිත් සම්බාෂක පනවා ඇත්තේ එරට ආර්ථික වශයෙන් අඩපණ කිරීමටය. ඊට හේතුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනය. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් චෝදනා කරන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමානු බෝම්බ නිපදවන බවටය.

තම රටේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ඇමෙරිකන් සම්බාධක නිසා බව පෙන්වා දෙමින් එම සම්බාධක ඉවත් කරන්නැයි ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පවා ඉල්ලා තිබේ. කෙසේ නමුත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නැත.

ඉරානයේ පළමු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වෙද්දී, මුළුමනින්ම රට අගුළු දැමීම සිදුවිය. කෙසේ නමුත් රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටීමකට ලක්වුණු බැවින්, සෞඛ්‍ය උපදෙස් මත‍ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් අදියරෙන් අදියර රට විවෘත කෙරුණි. වයිරසය තවත් දරුණු ලෙස පැතිරෙන්න වූයේ ඉන්පසුව යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS