ඉරානයට සම්බාධක



ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවට චෝදනා කරමින්, න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව පනවනු ලැබූ සම්බාධක ලබන පස් වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, බැලැස්ටික මිසයිල නිපදවන බවටත්, අසල්වැසි මැදපෙරදිග කලාපයේ රටවල අභ්‍යන්තර අර්බුදවලට ඇඟිලි ගසන බවටත් ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි.

යේමනයේ, සිරියාවේ සහ ඉරාකයේ පවතින අර්බුදවලට ඉරානය සම්බන්ධ වී සිටී. ඉරානයේ සහාය හිමිවන්නේ ඇමෙරිකන් විරෝධී පාර්ශ්වයටය. මෙය ට්‍රම්ප් පරිපාලනයේ උදහසට හේතුවක් වී ඇත.

ට්‍රම්ප් පරිපාලනය විසින් මෙසේ යළි පනවනු ලැබුවේ, ඇමෙරිකාව 2015 වසරට පෙර, ඉරානයට එරෙහිව පනවා තිබුණු ආර්ථික, වෙළෙඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බාධකය.

සම්බාධක යළි පැනැවීමේ ලියවිල්ලට ජනාධිපති ට්‍රම්ප් පසුගිය දා ධවල මන්දිරයේදී අත්සන් තැබීය. කෙසේ නමුත් ඇමෙරිකාව විසින් තෝරා ගනු ලැබූ රටවල් 8 ක් සමඟ සුපුරුදු පරිදි තෙල් ගනුදෙනු සිදු කරගෙන යෑමට ට්‍රම්ප් පරිපාලනය ඉරානයට අවසර දී ඇති බව ද ධවල මන්දිරය පෙන්වා දී තිබේ.

2015 වසරේ දී, ඇමෙරිකාවේ ජනාධිතපති වූයේ බැරැක් ඔබාමාය. ඔබාමා පරිපාලනය මැදිහත් වී, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය යන ලෝක බලවතුන් ද හවුල් කර ගනිමින්, ඉරානය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. ඒ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වූ බැවිනි.

සාකච්ඡා සාර්ථක වුණු අතර, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් සහ ඉරානය අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැණින. විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවටත්, පරමාණු බලශක්ති කටයුතු සීම කරන බවටත් ඉරානය පොරොන්දුවක් දුන්නේය.

ඒ අනුව ඔබාමා පරිපාලනය ඉරානයට පනවා තිබුණු සියලු වෙළෙඳ, ආර්ථික සහ රාජතාන්ත්‍රික සම්බාධක ඉවත් කළේය. ඇතැම් සම්බාධක ලිහිල් කළේය. ඉරානයට යළිත් වරක් ඔවුන්ගේ තෙල් විකුණා ගැනීමට හැකි වූයේ ද ඉන්පසුව යැයි විදෙස් මාධ්‍ය සිහිපත් කරයි.

රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පැමිණියේ ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් ද සමඟය. එය ඊශ්‍රායලයේ පැසැසුමට ලක් වුණු අතර, ඉරානයට සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව උසි ගැන්වීම කළේ ඊශ්‍රායලය යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය විරෝධය පළ කරද්දී, ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ඇතිකරගත් එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය. ඒ පසුගිය මැයි මාසයේදීය. එම අවස්ථාවේදී, ඔබාමා පරිපාලනය විසින් ඇතිකර ගනු ලැබූ එම ‘න්‍යෂ්ටික එකඟතාව’ නීති විරෝධී යැයි ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

සම්බාධක පැනැවීම සඳහා ට්‍රම්ප් විසින් අදාල ලියවිල්ලට අත්සන් කිරීම සිදුවූයේ පසුගිය දෙවැනිදාය. ඊට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ ‘සැන්ෂන්ස් ආර් කමින්’ (සම්බාධක එනවා) යනුවෙනි. ඒ, ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතා මාලාවේ නිරත අසන්න ලැබෙන ‘වින්ටර් ඊස් කමින්’ අනතුරු ඇඟවීමේ වදන් පෙළ සිහි ගන්වමිනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS