ඉරානයට දැඩි සම්බාධක



ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ අයුරින්, ඉරානයට සම්බාධක පැනැවීමට කටයුතු කරනවා යැයි ඇමෙරිකාව කියයි.

ඉරානයට මෙසේ නව සම්බාධක පනවන බව කියා සිටියේ ඇමෙරිකා රජය වෙනුවෙන් එට රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕය. ඒ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් මතය.

ට්‍රම්ප් පරිපාලනය, දිගින් දිගටම ඉරානයට දොස් කියයි. ඒ, මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට ඉරානය උඩගෙඩි දෙන බව පෙන්වා දෙමිනි.

2015 වසරේදී, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ද ට්‍රම්ප් කටයුතු කළේ මෙසේ දොස් නගමිනි. එය ඇමෙරිකාවේ හිතවතා වන ඊශ්‍රායලයේ ප්‍රසාදයට හේතුවක් වී ඇත.

න්‍යෂ්ටික අවබෝධතා ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු, ඉරානය අඩපණ කිරීමේ අරමුණ ඇතිව නව සම්බාධක පැනැවීම සිදු කරයි. ඒ, ආර්ථික සහ වෙළෙඳ යන අංශවලිනි. එවිට ඉරානයේ තෙල් විකිණීමේ කටයුතුවලට ද බාධා එල්ල වනු ඇත.

2015 වසරේ ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් වුවත්, තමන් එයින් ඉවත් නොවන බව එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය පවසා ඇත.

එම රටවලත්, සෙසු යුරෝපා රටවලත් සමාගම් රැසක් දිගටම ඉරානය සමඟ ගනුදෙනු කිරීමට බැඳී සිටී. ඇමෙරිකාව එම සමාගම්වලට ද තර්ජනය කර ඇත්තේ ඉරානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසටය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS