ඉරානයට තහංචි: ලොක්ඩවුන් කිරීමක් නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමේ අරමුණ ඇතිව, නව තහංචි රැසක් පනවන නමුත් රට ලොක්ඩවුන් නොකරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී ජාතිය අමතමින් කියා සිටියේය.

මේ වනවිට ඉරානය මුහුණ දී සිටින්නේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලට යැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඉරානයේ ප්‍රාන්ත 32 කින් 25 ක දරුණු ලෙස කොරෝනා වයිරස ව්‍යාප්තිය සිදුවෙයි. ඉරානය කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරටට පැනැවූ සම්බාධක මැදය.

නව තහංචි අනුව රාත්‍රී 9 සිට 4 තෙක් ඇඳිරි නීතිය පැනවෙන අතර, ඇතැම් පළාත්වල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. මුහුණු ආවරණ නොමැතිව නිවසින් පිටතට යන පුද්ගලයන්ගෙන් දඩ මුදල් අය කර ගැනීමක් ද සිදුවෙයි. ව්‍යාපාරික ස්ථාන සහ රජයේ කාර්යාලවල කටයුතු නොකඩවා සිදුවන අතර, අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ.

ගතවුණු පැය 24 ඇතුළත පමණක් ඉරානයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ මරණ 431 ක් බව ඊයේ (21) වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ 44,330 ක් තෙක් ඉහළ ගියේය. ගතවුණු පැය 24 ඇතුළත ඉරානයෙන් හමුවුණු නව ආසාදිතයන් ගණන 12,931 කි. ඒ අනුව, සමස්ත ආසාදිතයන් ගණන 8,41,308 ක් තෙක් ඉහළ ගියේය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS