ඉරානයට චෝදනා



ඉරානය ප්‍රංශයේ පැරිස් අගනුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේ යැයි ප්‍රංශය චෝදනා කරයි.

ඉරානයේ බුද්ධි තොරතුරු පිළිබඳ අමාත්‍යාංශය එම ප්‍රහාරය සැලසුම් කර ඇතැයි මේ වසරේ මුලදි එසේ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇතැයි ද ප්‍රංශය පවසයි. මෙම චෝදනාවත් සමඟ මේ වනවිටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති ඉරාන-ප්‍රංශ ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පැවසෙයි.

ඉරාන බුද්ධි අංශයට අයත් දෑ සහ ඉරාන බුද්ධි සේවාවට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගලයන් දෙදෙනකුට අයත් දෑ රාජ්‍ය සන්තක කිරීමට ද ප්‍රංශය පියවර ගෙන ඇත.

‘මහජනතාවගේ මුජහිදීන් (පීපල්ස් මුජහදීන් ඔෆ් ඉරාන් (එම්.ඊ.කේ)’ පක්ෂය පැරිස් අගනුවර තැනක පවත්වන රැලියකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සැලසුම් කර ඇතැයි ප්‍රංශය චෝදනා කරයි. මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ මීට මාස තුනකට පෙර යැයි ද පැවසෙයි.

“අපගේ භූමියේදී කරන්නට සැලසුම් කරන මෙම අතිශය දරුණු ක්‍රියාවට ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි” යැයි ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු, විදෙස් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මෙම අමාත්‍යාංශ තුන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම ද ඉතා දුලබ සිදුවීමකි.

ප්‍රංශය ඕනෑම ආකාරයකින් විශේෂයෙන්ම ඔවුන්ගේ භූමියේදී ඕනෑම ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවකට එරෙහිව සටන් කිරීමට සූදානම් බව ඔවුන් ගෙන ඇති තීරණයෙන් පෙනී යන බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ඉරාන බුද්ධි තොරතුරු පිළිබඳ අමාත්‍යාංශයේ මෙහෙයුම් ප්‍රධානියා ප්‍රහාරය එල්ල කරන්නැයි අණ දී ඇතැයි ප්‍රංශ හමුදා අනාවරණය කරගෙන ඇතැයි ද ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ නමුත් ඉරානය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS