ඉරානය සමඟ පැටළෙන්න පොටක් සොයයි



යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්ට මිසයිල ලබා දෙන බවට චෝදනා කරමින් ඉරානය සමඟ නව අර්බුදයක් ඇති කර ගැනීමට ඇමෙරිකාව උත්සාහ දරනවා යැයි ගල්ෆ් කලාපීය දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

යේමන රජය පෙරළා බලය අල්ලා ගෙන සිටින්නේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ය. මොවුන්ට ෂියා මුස්ලිම් ඉරානයේ සහාය නිල නොවන මට්ටමින් හිමිවෙයි. ඇමෙරිකාව ද යේමන අර්බුදයට මැදිහත් වී සිටින්නේ සෞදියට සහාය දක්වමිනි.

හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්ට, පහර දෙන්නේ යේමන රජයට සහාය පළ කරන සෞදි අරාබියයි. යේමන හමුදාව ද හවුති සටන්කාමීන්ට පක්ෂවත්, යේමන රජයට පක්ෂවත් දෙකඩ වී සිටී.

යේමනය සෞදියේ ඉලක්ක වෙත පහර දෙන්නේ, ඉරානයෙන් ලැබෙන මිසයිල යොදා ගනිමින් බවත්, වක්‍රව ඉරානය ඔවුන්ගේ එදිරිවාදියා වන සෞදියට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනී නිකී හේලි චෝදනා කරයි. සෞදි ඉලක්ක වෙත පහර දුන් මිසයිල ඉරානයේ නිෂ්පාදිත ඒවා යැයි තහවුරු වී ඇති බව සෞදිය ද පවසා ඇත.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ ඉරානය අතර පවතින්නේ අර්බුදයකි. ට්‍රම්ප් ජනපති ධුරයට පත් වීමට පෙර ඉරානය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට ඔබාමා පරිපාලනය සමත් විය. කෙසේ නමුත් ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය පතුරුවනවා යැයි ඉරානයට චෝදනා කරමිනි.

බොරු චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව තමන් සමඟ අර්බුදයක පැටැළීමට උත්සාහ ගන්නා නමුත් එය සාර්ථක නොවනු ඇතැයි ඉරාන විදේශ කටයුතු පිළිබඳ අමත්‍යාංශය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක බහ්රාම් ක්වසීමී මාධ්‍ය හමුවේ පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS