ඉරාන හමුදාපති ඝාතන තැත වරදී



ඉරාන හමුදාපති මේජර් ජනරාල් ක්වසීම් සුලෙයිමාන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වාර්තා කළේය.

මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළේ ඉරානයේ අයි.ආර්.ජී.සී. බුද්ධි අංශයේ ප්‍රධානී හොසේන් තයෙබ්ය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි. ෂියා මුස්ලිම්වරුන්ගේ ‘අෂුරා’ ආගමික උත්සවය පසුගිය සැප්තැම්බර් 9 වැනිදා සහ 10 වැනිදා පැවැත්විණි.

එම ආගමික උත්සවයට හමුදාපතිවරයා සහභාගී වූ අතර, ඔහු ඝාතනය කිරීමට සැලැසුම් කර තිබී ඇත්තේ එම උත්සවයේදීය. ඒ ගැන කල්තියා තොරතුරු අනාවරණය කර ගැනීමට ඉරාන බුද්ධි අංශ සමත් වූ බැවින්, ඝාතන සැලැස්මට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් ඊශ්‍රායල සහ අරාබි ඒජන්තවරුන් බවත් බුද්ධි ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.

ඉරානයේ කෙර්මාන් නගරයේ අෂුරා දේව මෙහෙය පැවැත්වුණු මුස්ලිම් පල්ලියට හමුදාපතිවරයා ගොස් ඇත. එම පල්ලියට පහළින් කිලෝ ග්‍රෑම් 350 ත් 500 ක් බර පුපුරණ ද්‍රව්‍ය අවටා හමුදාපතිවරයා සෙසු බැතිමතුන් සමඟ දේව මෙහෙයට සහභාගී වූ සැණින්, එම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැරීමට එම ඒජන්තවරුන් සැලැසුම් කර තිබුණු බව ඉරාන බුද්ධි අංශ ප්‍රධානියා පැහැදිලි කර තිබේ.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS