ඉරාන විපක්ෂ නායකයා උපවාසය අත්හරී



ඉල්ලීම් දෙකක් මුල්කොට ගනිමින් උපවාසයක් ආරම්භ කළ ඉරාන විපක්ෂ නායකයකු වන මෙහ්දි කරෝබී සිය උපවාසය අත්හැරියේය. ඒ, ඔහුගේ ඉල්ලීම් දෙකෙන් එකකට ඉරාන රජය එකඟවුණු නිසාය.

79 හැවිරිදි මෙහ්දි කරෝබී, 2011 වසරේ සිය නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටී. ඉරාන ආරක්ෂක අංශ නිලධාරීන් සහ රජයේ ඒජන්තවරු 2011 වසරේ සිට ඔහුගේ නිවසේ රැඳී සිටිති.

මෙහ්දි කරෝබී ඉකුත් බදාදා දිනයේ සිය උපවාසය ආරම්භ කළේ තමා වෙනුවෙන් ප්‍රසිද්ධ නඩු විභාගයක් පවත්වන්නැයි බලකරමින් සහ නිවසේ රඳවා සිටින ඒජන්තවරුන් ඉවත් කරන්නැයි බල කරමිනි. නිවසේ රඳවා සිටින ඒජන්තවරුන් ඉවත් කිරීමට රජය කැමැත්ත පළ කළේය.

මෙහ්දි කරෝබී පසුගිය 17දා අසාධ්‍ය තත්ත්වයට පත් වී රෝහල් ගත කළේය. ඔහු තවමත් රෝහලේ සිටින බව ද පැවැසෙයි. ඉරාන රජය මැදිහත් වී මෙහ්දි කරෝබීගේ ඉල්ලීම් දෙකෙන් එකකට කන් දුන්නේ ඔහු රෝහල් ගත කෙරුණු අවස්ථාවේදී යැයි ඉරාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

“මට සාධාරණ නඩු විභාගයක් ඕනෑ නෑ. එහෙම සාධාරණ නඩු විභාගයක් පැවැත්වේවි යැයි මම විශ්වාස කරන්නේ නෑ. මට ඕනෑ ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ තීන්දුවක් මා වෙනුවෙන් ලැබෙනවට” යැයි රෝහලේ සිටින මෙහ්දි කරෝබී පවසා ඇත.

මීට වසර 6 කට පෙර, අරාබි වසන්තය නමැති විරෝධතා රැල්ල ගල්ෆ් කලාපීය රටවල පැතිරී යද්දී, ජනතාව උසි ගැන්නුවේ යැයි මෙහ්දි කරෝබී ඇතුළු ඉරාන විපක්ෂ නායකයන්ට සහ ක්‍රියාකාරීන් නිවාස අඩස්සියට පත් කිරීමට ඉරාන රජය පියවර ගත්තේය. ඒ, ඔවුන්ට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකරය.

2009 වසරේදී මෙහ්දි කරෝබී ජනපති ධුරය සඳහා තරග වැදුණේය. එම ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළේ දැඩිමතධාරී මොහොමද් අහමදිනෙජාද්ය. ජනපතිවරණය සම්බන්ධයෙන් ගැටලු මතු විය. හොර ඡන්ද දැමීම් සිදුවුණැයි චෝදනා එල්ල විය.

එම අවස්ථාවේ යළිත් වරක් ජනාධිපතිවරණය පවත්වන්නැයි බල කරමින් මෙහ්දි කරෝබීගේ මෙහෙයවීමෙන් විපක්ෂ ක්‍රියාකාරීහු දහස් ගණනින් වීදි බැස විරෝධතා පැවැත්වූහ. මෙම අවස්ථාවේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කොමේනි මැදිහත් වී ජනතාවට කියා සිටියේ ජනපතිවරණ ප්‍රතිඵලය පිළිගන්නා ලෙසය. විරෝධතා මර්දනය කෙරුණි. විපක්ෂ ආධාරකරුවෝ රැසක් ඝාතනයට ලක් වූහ. දහස් ගණනක් සිරගත කෙරුණහ.

(රොයිටර්)


RECOMMEND POSTS