ඉරාන විදෙස් ඇමති ‘ජී7’ සමුළුවට



ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් සෙසු ලෝක නායකයන් පුදුමයට පත් කරමින් ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

‘ජී7’ සමුළුවට සහභාගී වෙන්නැයි ඉරානයට ඇරැයුම් කළේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

ඒ, ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වීමෙන් පසු, හටගත් අර්බුදය සම්බන්ධයෙන් කථිකාවකත් ඇති කර ගැනීමේ අරමුණින්ය. කෙසේ නමුත් ඉරානය මුලින් එම ඇරැයුම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ නමුත් ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් සමුළුවට පැමිණියේ පෙර දැනුම්දීමකින් තොරවය.

ඉරානයෙන් නියෝජිතයකු සමුළුවට සහභාගී වේවි යැයි ‘ජී7’ ලෝක නායකයන් පමණක් නොව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවා කල් තියා දැන නොසිටි බව ප්‍රංශ පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් ඉරාන විදේශ ඇමැතිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඉන්පසු ‘ජී7’ සමුළුවට සමගාමීව සෙසු ලෝක නායනයන් සහ නියෝජිතයන් සමඟ ඉරාන විදේශ ඇමැති සරීෆ් සාකච්ඡා පැවැත්වීය. ඊට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සහභාගී විය.

පෙර දැනුම් දීමකින් තොරව පැමිණි ඉරාන විදේශ ඇමැති ‘ජී7’ සමුළුවට සහභාගී වී පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන තමාගේ මවිතයට හේතුවක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද පවසා තිබේ.

බියාරිට්ස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS